Friday, March 29, 2024
Follow Us
GSP+ රැකගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට කමිටුවක් පත්කළා - කොළඹගේ

GSP+ සහනය තවදුරටත් ලැබීම මේ වනවිට සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම මත බවත් එම පනත කඩිනමින් සංශෝධනය කළහැකි ආකාරය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා මේ වනවිට විශේෂඥයින්ගේ කමිටුවක් ද රජය විසින් පත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

"දැන් GSP+ සහනය හිමිවීම ඇත්තෙන්ම රඳා පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මතයි. මීට කැබිනට් අනු කමිටුවක් පත් කළා, එම කැබිනට් අනුකමිටුව තවත් විශේෂඥයින්ගේ කමිටුවක් පත්කළා අපට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් කඩිනමින් ගතහැකි ක්‍රියාමාර්ග ගැන අධ්‍යනය කිරීමට. ඇත්ත වශයෙන්ම මීට පෙර යෝජනා වී තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහායි. නමුත් කිසිදු රටක් - මම නැවතත් කියනවා - කිසිදු රටක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් නැතිව පවත්වාගෙන යන්න බැහැ. එනිසා ඒ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. අපි යුරෝපා සංගම් නියෝජිතයින් පැමිණෙන තුරු බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි බය නැහැ, අපට සඟවන්න දෙයක් නැහැ"

ජයනාත් කොළඹගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

GSP+ සහනය දීර්ඝ කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන 27 වනදා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් සෘජුවම ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බලධාරීන් හමුවී සාකච්ඡා කරනු ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී සඳහන් කළේය.

(LNW)