Sunday, September 08, 2024
Follow Us
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත්‍රත්වයේ සංකේතයක් ලෙස නා පැළ ප්‍රදානයක් ජනපති අතින්

උතුම් බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ සහ එය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ වැදගත්කම සැබෑ බෞද්ධ නායකයකු ලෙස ජනපති මෛත්‍රී හඳුනාගෙන තිබෙනවා

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත්‍රත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට (Meditation center of ouk Dong mountain) ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා පැළ ප්‍රදානයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පෙරේදා (10) පෙරවරුවේ සිදු විය.

බුදු දහම මුල්කරගත් කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා සෑම ක්ෂේත්‍රයකින්ම වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් කාම්බෝජ රජතුමාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා පසුගිය දා කාම්බෝජයේ සංචාරයකට එක් වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු කාම්බෝජයේ රාජ්‍ය සංචාරයකට එක් වූ පළමු අවස්ථාව සනිටුහන් කරමිනි.

උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරමින් සහ ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ලොවට බෙදා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව පුළුල් කාර්යයක් ඉටු කරමින් සිටින අවස්ථාවක ථෙරවාදී බුදු දහමින් පෝෂිත රටක් ලෙස ජනාධිපතිවරයාගේ කාම්බෝජ සංචාරය සුවිශේෂී වූ අතර, සිය රාජ්‍ය සංචාරයේ දී දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කෙරෙන මෙන්ම බෞද්ධාගමික සබඳතා වැඩි දියුණු කෙරෙන වැඩසටහන් කිහිපයකට ද ජනාධිපතිවරයා එක් විය.

එහි ප්‍රධාන වැඩසටහනක් ලෙස මේ නා පැළ ප්‍රදානය සිදු කෙරිණි. ප්‍රධාන බෞද්ධාගමික රටක් වුවද නා ගස කාම්බෝජයේ දී දක්නට නොලැබෙන අතර, අටවිසි බෝධි වෘක්ෂයන්ට අයත් බෞද්ධාගමික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් ඇති නා පැළ ප්‍රදානයත් සමඟ දෙරටේ බෞද්ධාගමික සබඳතා තව දුරටත් ශක්තිමත් කෙරෙනු ඇති බව කාම්බෝජ සංඝරාජ හිමිවරු ප්‍රකාශ කළහ.

එමෙන්ම උන්වහන්සේලා පෙන්වා දුන්නේ කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතාව ඉතා ඈත අතීතයට විහිද යන බවත්, එම ඉතිහාස කතාවෙන් පසුව දෙරටේ බෞද්ධාගමික සබඳතා තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කළ නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසයට එක්වනු ඇති බවත්ය.

ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ද මෙහි දී අදහස් දැක් වූ අතර, උන්වහන්සේ පෙන්වා දුන්නේ උතුම් බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ සහ එය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ වැදගත්කම සැබෑ බෞද්ධ නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හඳුනාගෙන තිබෙන බවයි. ආසියානු බෞද්ධ සංගමයක් ද පිහිටුවා මහද්වීපයේ සියලු රටවල් ඊට එක් කර ගැනීමට එතුමා යෝජනා කර තිබෙන බව ද උන්වහන්සේ පැවැසූහ.

එමෙන්ම උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළේ මී ළඟ බුදුන් වහන්සේ වන මෛත්‍රී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වන්නේ නා බෝධි සෙවණක් යටතේ බව සඳහන් වන බවත් පූජනීය නා පැළ පූජා කිරීමේ මේ අවස්ථාව ඉතා උතුම් අවස්ථාවක් ලෙස ශාසන ඉතිහාසයට එක්වන බවත්ය.

කාම්බෝජ මහා සංඝරාජ හිමිවරු ප්‍රමුඛ ශ්‍රී ලංකා – කාම්බෝජ ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(Dinaimna)