Wednesday, July 02, 2025
Follow Us
එන්නත්කරණ වැඩසටහනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලක් රජයට පැසසුම්

අඛණ්ඩව දෙවන දිනටත් පුද්ගලයින් ලක්ෂ 5 කට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබාදීම පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සදහා කැපවූ මෙරට සියළු දෙනාට ප්‍රසාදය පළ කරන බවද ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඊයේ දිනයේ පුද්ගලයින් පන් ලක්ෂ 13,820 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඉකුත් 29වනදා ද පුද්ගලයින් පන්ලක්ෂ 15,830 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබුණා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් මෙරටට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනික එන්නත් මාත්‍රා තොගය රැගත් ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට රැගෙන ආවා. එහි එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460ක් තිබූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

එම එන්නත් භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

(Neth)