Thursday, April 25, 2024
Follow Us
වනිඳු මිලදී ගන්න IPL කණ්ඩායම් හතරක් තරගයක!

දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා සීමිත ඕවර් ක්‍රිකට් කණ්ඩායමේ කැපීපෙනෙන එකම ක්‍රීඩකයා වනිඳු හසරංග වන අතර ඔහු මේ වනවිට 20/20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ පසුවේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන වනිඳු හසරංග තරග කිහිපයකදීම පිතිකරණයෙන් කණ්ඩායමට දායකත්වය ලබා දී තිබෙනවා.

වනිඳු වර්තමානයේදී දක්වන දක්ෂතා අනුව, සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වන 2021 ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ දෙවැනි භාගය සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමිවීමට ඉඩ තිබෙනවා. මේ වනවිටත් ඔහු තම කණ්ඩායමට ලබා ගැනීම සඳහා ඉන්දියානු ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කරන කණ්ඩායම් හතරක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ වූ මෙම තරගාවලිය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදු විය. තරගාවලියේ ඉතිරි කොටස එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තරගාවලියට සහභාගි වූ ඇතැම් ක්‍රීඩකයන් දෙවැනි අර්ධයට සහභාගි නොවීමට ඉඩ තිබෙන අතර ඒ සඳහා ආදේශක ක්‍රීඩකයන් ලබා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව හිමි වේ. ඒ අනුව වනිඳු හසරංගටද තරගාවලියට පිවිසීමට බොහෝදුරට ඉඩ තිබෙනවා.

විශේෂයෙන් මෙම තරගාවලියෙන් පසුව 20/20 ලෝක කුසලාන තරගාවලිය එමීර් රාජ්‍යයේදී ආරම්භ වන අතර ඉන්දියානු ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කිරීම වනිඳු හසංගරට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමටද අතිරේක වාසියක් වනු ඇත.

(LNW)