Thursday, April 25, 2024
Follow Us
දියේ ගිලී මියයාමෙන් ලංකාව 23 වැනි තැනට

ලෝකයේ දියේ ගිලී මියයන පිරිස අතරින් ශ්‍රී ලංකාව ලොව 23 වන ස්ථානයේ පසුවන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. චූලසිරි මහතා පැවසීය.


ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින (28 වැනිදා) ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය නිමිති කොටගෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ වසරකට ශ්‍රී ලංකාවේ දියේ ගිලීමෙන් පුද්ගලයන් දහසකට (1000) ආසන්න පිරිසක් මියයන බව හා දිනකට අනිවාර්යයෙන් දෙදෙනකුගේ හෝ ජීවිත අහිමි වන බවය. ඒ අතරින් 98%ක්ම දියේ ගිලෙන්නේ නොසැලකිලිමත්කම හේතුවෙනි. සභාපතිවරයා සඳහන් කර සිටියේ මියයන අය අතුරින් බොහෝමයක් වයස අවුරුදු 20ත් 60ත් අතර පුද්ගලයන් බවය. රටේ ශ්‍රම බළකාය මෙලෙස අකාලයේ මියයෑමෙන් සිදුවන්නේ ඔවුන්ගේ වටිනා ජීවිත මෙන්ම රටේ ආර්ථිකය නංවන්නට වැදගත් වන මූලාශ්‍රයන් ද අහිමි වීම බව ඔහු සඳහන් කරයි.

(Aruna)