Monday, May 06, 2024
Follow Us
ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තය යලිත් වරක් ලොක්ඩවුන් කිරීමේ සුදානමක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය යළිත් වරක් වසා දැමීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, ඩෙල්ටා කොරොනා වෛරස් ප්‍රභේදය එම ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක් තුළයි. දැනට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට අයත් මෙල්බර්න් නගරයටයි. මෙල්බර්න් නගරයෙන් මේවනවිට ඩෙල්ටා ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව තත්ත්වය තවදුරටත් අවදානම් වීමට පෙර ප්‍රාන්තය වසා දැමීමටයි බලධාරීන් සූදානම් වන්නේ.

කෙසේවෙතත්, කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තය වසා දැමෙන 05 වන අවස්ථාව මෙය වනවා. ඒ අනුව එම ප්‍රාන්තයේ වෙසෙන මිලියන 6 යි දශම 6 ක පමණ ජනතාවට නිවෙස් තුළට වී සිටීමට සිදුවනු ඇති. එහෙත්, අත්‍යවශ්‍ය සේවා හා එන්නත් කිරීමේ කටයුතු සංචරණ සීමා මධ්‍යයේ වුවත් අඛණ්ඩව සිදු කෙරෙනු ඇති.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ මේවනවිට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති රටවල් අතර මේවනවිට ඕස්ට්‍රේලියාව ද පෙරමුණේ පසුවනවා. පවතින තත්ත්වය හමුවේ මේවනවිට එරට ජනගහනයෙන් සියයට 40 ක පමණ පිරිසක් සංචරණ සීමාවන්ට යටත්ව සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

(Neth)