Tuesday, May 07, 2024
Follow Us
ඉදිරියේදී වඩාත් භයානක කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් : වෛරසයේ අවසානයක් දැකීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුව කියයි

ලොව පුරා ව්‍යාප්ත වන භයානක කෝවිඩ් ප්‍රභේදවල ඉහළ සම්භාවිතාව හේතුවෙන් වසංගත තත්ත්වයේ අවසන් වීමේ ඉඩක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. එම සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව සඳහන් කරන්නේ විකෘති ප්‍රභේද හේතුවෙන් වසංගත තත්ත්වය අවසන් වීමේ ඇති හැකියාව අවම වෙමින් පවතින බවයි.

" ජාතික වශයෙන්, කලාපිය වශයෙන් සහ ගෝලීය වශයෙන් උත්සහ ගනු ලැබුවත් වසංගතයේ අවසන් වීමක් දක්නට නොමැති බවයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

ගෝලීය වසංගත තත්ත්වය කෙරෙහි අවදානය යොමු කරමින් එම කමිටුව සඳහන් කර සිටින්නේ ප්‍රභේද හතරක් සමග වසංගත තත්ත්වය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

ඉදිරියේදී පාලනය කිරීම අපහසු වඩාත් ප්‍රබල කොවිඩ් ප්‍රභේද මතුවීමේ අවදානමක් ඇති බවත් එය ගෝලීයව ව්‍යාප්ත වීමේ ප්‍රබල සම්භාවිතාවක් ඇති බවයි හදිසි ප්‍රතිචාර කමිටුව වැඩිදුරටත් අනතුරු අඟවා සිටින්නේ.

" වර්තමානයේ ඇතිවී තිබෙන ප්‍රවණතා සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමේදී දැඩි කණගාටුවක් ඇතිවන බවයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුවේ සභාපති Didier Houssin වාර්තාකරුවන් සමග ප්‍රකාශ කර සිටියේ.

ගෝලීය වසංගත තත්ත්වයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට වසර එකහාමාරක් ගතවී ඇති අවස්ථාවේදී තවමත් අප වෛරසය පසුපස දුවමින් සිටින බවත් වෛරසය තවමත් අපව හඹා එමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

ගෝලීය වශයෙන් වැඩි අවදානයක් යොමු කොට ඇති කොවිඩ් ප්‍රභේද 04ක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය අවදානය යොමු කොට ඇති අතර මේ වන විට ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් වෛරස ව්‍යාප්තිය වේගවත් වී ඇත.

කෙසේ වුවත් ඉදිරියේදී ගෝලීය වශයෙන් පාලනය කිරීමට අපහසු සහ වේගවත් ව්‍යාප්තියක් සහිත කොවිඩ් ප්‍රභේද මතුවීමේ වැඩි අවදානමක් ඇති බවයි එම කමිටුව අනතුරු අඟවා සිටින්නේ.

ඇතැම් විකෘති කොවිඩ් ප්‍රභේදවලට මේ වන විට ලබා දෙමින් ඇති කොවිඩ් මර්ධන එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිකරණය පසුකර යාමේ හැකියාවක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවයි.

 

මේ අතරවෛරස ව්‍යාප්තියේ මුලාරම්භය වූ අවස්ථාවේදී ලබාගත් දත්ත සම්බන්ධයෙන් විනිවිද භාවයකින් කටයුතු කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom Ghebreyesus චීනයෙන් අද ඉල්ලා සිටියා.

වෛරසය පැතිර ගිය පළමු දිනවල ලබා ගත් මුලික දත්ත නොමැතිකම නිසා මෙම වසර මුලදී වුහාන් හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණ වලින් අපේක්ෂිත ප්‍රථිපල අත්කර ගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)