Thursday, September 19, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුසියාවේ අවධානය

රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා තහවුරු කිරීමේ අරමුණෙන්, රුසියානු රජයේ තානාපති Yury Materiy මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය.

පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය යම්තාක් දුරකට එල්.එන්.ජී. සහ ගල් අඟුරු වෙත යොමුවී තිබීම රුසියානු තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු වූ අතර මේ සම්බන්ධයෙන් සිය රටේද යම් පෙළඹවීමක් ඇති කිරීම දෙරටටම වාසිදායක ක්‍රියාමාර්ගයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව රුසියානු තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ විදුලිය උත්පාදනය කිරීමේ සාම්ප්‍රදායික මෙන්ම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ගල් අගුරු, ස්වභාවික වායු වැනි මූලාශ්‍ර වෙත යොමු වූ බවද රුසියානු තානාපතිවරයාට පැහැදිළි කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාව විදුලියනය අතින් ඉතාමත් ප්‍රශස්ථ මට්ටමකට පැමිණ සිටින බවත්, දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම වෙනුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජිත වායු බලාගාර පිළිබඳවද අමාත්‍ය කරුණානායක මහතා තානාපතිවරයාට කරුණු පැහැදිළි කළේය.

ආසියානු කලාපීය රටවල් අතර විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය මට්ටමක සිටින බවත්, තවදුරටත් විදුලිබල ක්ෂේත්‍රය වර්ධනය කිරීම පිණිස අවශ්‍ය සහයෝගය ලබාදීමට රුසියානු රජය වෙනුවෙන් තමා එකඟවන බවත් රුසියානු තානාපතිවරයා පැවසීය. ඒ අනුව ගල් අඟුරු සහ ස්වභාවික වායු බලාගාර ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට රුසියානු රජයේ මෙන්ම සමාගම් තුළ පෙළඹවීමක් ඇතිකිරීමට ක්‍රියා කරන බවද රුසියානු තානාපතිවරයා, අමාත්‍ය කරුණානායක මහතාට පැවසීය.

(LNW)