Saturday, May 04, 2024
Follow Us
වසර 53 කට පසු ඉතාලිය යුරෝපා පාපන්දු ශූරතාව දිනයි

වසර 53 කට පසු යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවක් දිනා ගැනීමට ඉතාලිය අද අලුයම සමත් වුණා. ඒ, හැරී කේන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින්. අවසන් මහා තරගය ලන්ඩන් නුවර ඓතිහාසික වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති අතර තරගයේ නියමිත කාලය අවසන් වූයේ දෙපිළම ගෝල එක බැගින් ලබා ගනිමින්.

පළමු අර්ධයේ දෙවන මිනිත්තුවේදී එංගලන්තය පළමු ගෝලය වාර්තා කරමින් ඉතාලි කණ්ඩායමට ආරම්භයේදීම පීඩනයක් එල්ල කළා. ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ එකට බින්දුවක් ලෙස එංගලන්තය පෙරමුණ ගනිමින්. දෙවන අර්ධයේ 67 වන මිනිත්තුවේදී ඉතාලිය ගෝලයක් වාර්තා කිරීමත් සමග මෙම අවසන් මහා තරගය තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.

නියමිත කාලය අවසන් වනවිට දෙපිළම ගෝල එක බැගින් ලබාගැනීම හේතුවෙන් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සදහා අතිරේක කාලයක් ලබාදුන් අතර එහිදී දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වුයේ නැහැ. ඒ අනුව මෙවර යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයින් තෝරාගැනීම සදහා දඩුවම් පහර අවස්ථාව ක්‍රියාත්මක කෙරුණා. එහිදී ගෝල 3 ට 2 ක් ලෙස තියුණු ජයක් වාර්තා කළ ඉතාලි පාපන්දු කණ්ඩායම වසර 53 කට පසු යුරෝපා පාපන්දු ශූරතාව සිය මව්රට වෙත රැගෙන ගියා.

ඉතාලිය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවක් දිනාගත් දෙවන අවස්ථාව මෙයයි. ඔවුන් මීට පෙර 1966 වර්ෂයේදී යුරෝපා පාපන්දු ශූරයින් බවට පත් වුණා. මෙම තරගය නැරඹීම සදහා වෙම්බ්ලි ක්‍රීඩාංගණයට 67,000 කට අධික පාපන්දු ලෝලීන් සංඛ්‍යාවක් එක්ව සිටියා. ඉතාලිය මෙවර යුරෝපා කුසලාන පාපන්දු ශූරතාව දිනාගත්තේ එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ සිහින බොද කරමින්.

ඒ අනුව යුරෝපා කුසලාන පාපන්දු කුසලානයක් පළමු වරට දිනා ගැනීමට තිබූ අවස්ථාව මෙම පරාජයත් සමග එංගලන්තයට අහිමි වී ගියා. එංගලන්තය 1966 වර්ෂයේ දී පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසි පළමු අවස්ථාවද මෙයයි.

කෙසේවෙතත් එංගලන්ත පාපන්දු කණ්ඩායමට මෙවර යුරෝපා පාපන්දු ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ අතර වෙම්බ්ලි ක්‍රීඩාංගණයට පැමිණි පාපන්දුලෝලීන් මෙන්ම එංගලන්ත ක්‍රීඩකයින් ද මෙම පරායෙන් පසු හඩා වැටුනා. මේ පිළිබද තවත් තොරතුරු ලන්ඩන් නුවර නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන්.

(Neth)