Saturday, May 04, 2024
Follow Us
පෝලන්තය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කරන බව පෝලන්ත ජනපති අවධාරණය කරයි

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ විෂය පථය ක්‍රියාශීලී ලෙස පුළුල් කිරීම සඳහා පෝලන්තය උනන්දු වන බව පෝලන්ත ජනාධිපති ඇන්ඩෙප් ඩුඩා මහතා ප්‍රකාශ කර ඇත.පෝලන්තය සදහා අභිනවයෙන් පත් වූ තානාපති ධම්මිකා කුමාරි සේමසිංහ මහත්මිය ඉකුත් 6 වැනි දින වෝර්සෝ හි බෙල්වඩියර් මාළිගාවේ දී පෝලන්ත ජනරජයේ ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව තානාපතිවරිය සහ පෝලන්ත ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත.

කොවිඩ්-19 වසංගතය පිළිබඳ අභියෝග පැවතියද, LOTපෝලන්ත ගුවන් සේවය විසින් 2019 වසරේ සිට වෝර්සෝ සහ කොළඹ අතර ස්ථාපිත කරන ලද සෘජු ගුවන් සම්බන්ධතාවය, ද්වි-මාර්ග වෙළඳ හා සංචාරක කර්මාන්තය උත්ප්‍රේරණය කිරීම සහ ඉහළ නැංවීම සඳහා හේතුවන බව එතුමා පැවසීය. දැනට පවත්නා අපනයන-ආනයන නිෂ්පාදන මාර්ග විවිධාංගීකරණය කිරීම සඳහා පෝලන්ත ආයෝජකයින්ට සහ ව්‍යාපාරවලට ශ්‍රී ලංකාව විසින් වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇතැයි ජනාධිපති ඩූඩා මැතිතුමා අපේක්ෂාව පළ කළේය. පෝලන්ත සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා හැකියාව සහ කැමැත්ත ඇති බව අවධාරණය කළ එතුමා, මෙම උද්යෝගිමත් අමුත්තන්ට පහසුකම් සැලසීම සඳහා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව සිය සංචාරක අංශය විවෘත කරනු ඇතැයි යන අපේක්ෂාව පළ කළේය. යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වීම ඇතුළුව,පෝලන්තයේ විදේශ ප්‍රතිපත්තිමය අවශ්‍යතා පිළිබඳ දළ විශ්ලේෂණයක් ද එතුමා සැපයීය.

ජනාධිපති ඩූඩා මැතිතුමා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආචාරය හා සුබ පැතුම් එක් කරමින්, තානාපති සේමසිංහ මැතිණිය මධ්‍යම යුරෝපීය රටක් සහ යුරෝපා සංගම් සාමාජිකයෙකු වන පෝලන්තය සමඟ දශක හයක දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාමට සහ පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම යළි තහවුරු කළාය. ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ජනතා කේන්ද්‍රීය, දැනුම මත පදනම් වූ සහ ‘ව්‍යාපාරික හිතකාමී’ ජාතික ප්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානය යොමු කරමින්,තානාපති සේමසිංහ මැතිණිය පෝලන්ත ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ඉස්මතු කළාය. කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, කිරි ගොවිතැන සහ කාබනික පොහොර භාවිතය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ හා ඒ ආශ්‍රිත සේවා (BPO/KPO), කොළඹ වරාය නගරය, ආගන්තුක සත්කාර කර්මාන්තය, නිෂ්පාදන (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික), විදේශ රැකියා සහ කුළුබඩු, තේ, රබර් සහ පොල් සඳහා විශේෂිත වෙළඳපොළ ආයෝජන මේවාට ඇතුළත් වේ. සිය ආර්ථිකය කෙරෙහි ‘පරිවර්තනීය බලපෑමක්’ ඇති කරන සහ එමඟින් වැදගත් ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ගෝලීය ප්‍රතිරූපය ස්ථාපිත කරනු ලබන විදේශ ආයෝජන, ශ්‍රී ලංකාව පිළිගන්නා බව තානාපතිවරිය අවධාරණය කළාය.

කොවිඩ්-19 එන්නත්, පහසු සහ දැරිය හැකි ප්‍රවේශයකින් යුත් ‘විශ්වීය යහපතක්’ බවට පත් කළ යුතු බවට ජනාධිපති ඩූඩා මැතිතුමා වෝර්සෝ හි කළ ප්‍රකාශය සාදරයෙන් පිළිගත් තානාපති සේමසිංහ මැතිණිය,රජයේ කොවිඩ්-19 ආසාදන අවම කිරීමේ වැඩසටහන සහ මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 13 ක් එන්නත් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා දරන සාමූහික ප්‍රයත්න සහ එම ක්‍රියාවලිය තුළ දී මුහුණදෙන අභියෝග පිළිබඳව කෙටි විස්තරයක් ලබා දුන්නාය.

ද්විපාර්ශ්වික වෙළඳ හා ව්‍යාපාරික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම, ද්වි-මාර්ග සංචාරක කටයුතු සහ ජනතාව අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ අපේක්ෂාවන්ට අනුව, කොළඹ දී රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් ආරම්භ කිරීම පිළිබඳව පෝලන්ත රජය සලකා බලනු ඇතැයි තානාපති සේමසිංහ මැතිණිය විශ්වාසය පළ කළාය.

ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති කාර්යාංශයේ රාජ්‍ය ලේකම් ක්‍රයිස්ටොෆ් ස්කර්ස්කි මහතා සහ ආරක්ෂාව, ඇමරිකා මහාද්වීප, ආසියාව සහ නැගෙනහිර හා සම්බන්ධ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය ලේකම් මාර්සින් ප්‍රිඩාක්ස් මහතා ද මෙම රැස්වීමට සහභාගී වූහ.

වත්මන් තනතුර ලැබීමට පෙර, තානාපති සේමසිංහ මැතිණිය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ යුරෝපා,මධ්‍යම ආසියා, යුරෝපා සංගම් හා පොදුරාජ්‍ය මණ්ඩලයීය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය. වසර 25 ක (1996 කණ්ඩායමේ) ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහිත වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එතුමිය, විදේශ අමාත්‍යාංශයේ දේශපාලන, ආර්ථික හා බහුපාර්ශ්වික අංශවල විවිධ තනතුරුවල සහ විදේශයන්හි නිව්යෝර්ක්, වොෂිංටන් ඩීසී සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කොට ඇත.

නිව්යෝර්ක්හි එතුමියගේ රාජ්‍යතාන්ත්‍රික පැවරුම අතරතුර දී, තානාපති සේමසිංහ මැතිණිය තෙවැනි කමිටුවේ සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වැඩ කටයුතු ආවරණය කළාය. එතුමිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ 2013 දෙසැම්බර් මාසයේ ආරක්ෂක මණ්ඩලයේ වාර්තාවල ළමුන් හා සන්නද්ධ ගැටුම් (CAAC) සඳහා වන ඇමුණුම්වල අඩංගු “නම් කිරීමේ සහ අවමන් කිරීමේ ලැයිස්තුවෙන්” ශ්‍රී ලංකාව ඉවත් කිරීම සාර්ථකව මෙහෙයවූ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවක් වූවාය.එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තරුණ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ද එතුමිය විශාල දායකත්වයක් ලබා දුන්නාය.

තානාපති සේමසිංහ මැතිණිය , මහනුවර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී දේශපාලන විද්‍යාව පිළිබඳ සිය මූලික උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කළ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ස්වර්ත්මෝර් විද්‍යාලයේ දී ජාත්‍යන්තර සබඳතා සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ උපාධිය සම්පූර්ණ කිරීමට එතුමියට අවස්ථාව ලැබුණි. එතුමිය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩීසී හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උසස් ජාත්‍යන්තර අධ්‍යයන පාසලෙන් (SAIS) ජාත්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

නිකවැරටියේ දී උපත ලද තානාපති සේමසිංහ මැතිණිය , ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවට අයත් තිඹිරියාව ප්‍රදේශයෙන් පැවත එන්නීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වෝර්සෝ
2021 ජූලි 09 වැනි දින

(LNW)