Saturday, May 04, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ තිරසාර භාණ්ඩ ප්‍රවාහනයට තාක්ෂණික සහය ලබා දෙන බව යුනෙස්කැප් සහතික වෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ උපාය මාර්ග පිළිබඳ ජාතික උපදේශන වැඩමුළුවක් ඉකුත් 5 වනදා පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම (යුනෙස්කැප්), බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යාංශය සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වී සිටියහ.

එහි දී අදහස් දැක් වූ , යුනෙස්කැප් හි ප්‍රවාහන අංශයේ ප්‍රවාහන සම්බන්ධතා හා සැපයුම් සේවා අංශයේ ප්‍රධානී අසාර් ජයිමුර්සිනා මහතා සදහන් කෙළේ භාණ්ඩ ප්‍රවාහනයේ බාහිරත්වය ධනාත්මක ලෙස උපරිම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තිරසාර භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට යුනෙස්කැප් විසින් අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබා දෙන බව සහතික කළේය.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සී. චමින්දා අයි. කොලොන්නෙ මැතිණිය සිය ආරම්භක දේශනයේ දී, ශ්‍රී ලංකාවේ තිරසාර භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ තක්සේරුව සිදුකිරීම සහ ජාතික උපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා යුනෙස්කැප් විසින් දරන ලද ප්‍රයත්නය අගය කළාය.

තිරසාර භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ ජාතික උපදේශනය සංවිධානය කිරීම සඳහා යුනෙස්කැප් සංවිධානය ගත් පියවර ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා පිළිගැනීමට ලක් කළේය. උපදේශන සඳහා යුනෙස්කැප් විසින් සකස් කරන ලද උපාය මාර්ග කෙටුම්පත ඔහු තවදුරටත් අගය කළේය. ඔහු උපාය මාර්ගය තුළ හඳුනාගෙන ඇති උපායමාර්ගික තෙරපුම් ක්ෂේත්‍ර සමඟ එකඟ වූ අතර,ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දුම්රිය ප්‍රවාහනයේ කාර්යභාරය පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

යුනෙස්කැප් ආර්ථික කටයුතු නිලධාරී සන්දීප් ජේන් මහතා මෙම උපායමාර්ගය පිළිබඳව විස්තර කළේය.තිරසාර භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ උපාය මාර්ග සඳහා වන තාර්කිකත්වය පිළිබඳව පැහැදිලි කරමින්,දැනට කොටස්වලට වෙන් වී විසිරී ගොස් ඇති තිරසාර භාණ්ඩ ප්‍රවාහන ප්‍රවාහන ක්‍රියාමාර්ගයන්ට ශක්තියක් ලබා දීම සඳහා එය ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇති බව ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා මෙම උපායමාර්ගය උපකාරී වනු ඇත.

මෙම කෙටුම්පත් ක්‍රමෝපාය මගින්, දුම්රිය ප්‍රවාහනයේ භූමිකාව වැඩිදියුණු කිරීම, අන්තර් මාදිලි ප්‍රවාහනය වැඩි දියුණු කිරීම, ශ්‍රී ලංකාව ගෝලීය සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීම, දේශගුණික විපර්යාස බලපෑම්වලට ප්‍රවාහනයට ඔරොත්තු දීමේ හැකියාව, මාර්ග ප්‍රවාහනයේ තිරසාර බව වැඩි දියුණු කිරීම, නාගරික භාණ්ඩ ප්‍රවාහන ප්‍රවාහන අභියෝගයන්ට මුහුණ දීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයතුළ කාන්තාවන්ගේ භූමිකාව පුළුල් කිරීම ඇතුළුව, අවධානය යොමු කළ යුතු අංශ හතක් හඳුනාගෙන ඇත.

තවද, තිරසාර භාණ්ඩ ප්‍රවාහනය සඳහා පාලනය ශක්තිමත් කිරීම, ප්‍රවාහන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ධාරිතාව ගොඩනැංවීම, පරිවර්තනීය ප්‍රවාහන තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම, පුද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීම සහ තිරසාර භාණ්ඩ ප්‍රවාහනය සඳහා අරමුදල් ප්‍රභවය විවිධාංගීකරණය කිරීම ඇතුළු උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට උපකාරී වන ක්‍රියාකාරී අංග පහක් ද එය විසින් හඳුනාගෙන තිබේ.

 

මෙම වැඩමුළුවට, කොරියානු ජනරජයේ සාගර හා ධීවර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු විසින් වරාය ප්‍රතිපත්ති පිළිබඳ අත්දැකීම් සහ ශ්‍රී ලංකාව ඔවුන්ගෙන් ඉගෙන ගත හැකි ආකාරය බෙදාහදා ගැනීම ද ඇතුළත් විය. ආසියානු ප්‍රවාහන සංවර්ධන ආයතනයේ (AITD) නියෝජිතයින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දෙන අභියෝග සහ ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහනයේ කාර්යභාරය ඉහළ නංවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. මොස්කව්හි පිහිටි යටිතල පහසුකම් ආර්ථික මධ්‍යස්ථානයේ සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා සුදුසු සැලසුම් සහ ආයෝජන සම්බන්ධයෙන්, වසංගතයෙන් අනතුරුව භාණ්ඩ ප්‍රවාහයන් හඳුණාගැනීම වැදගත් අංගයක් වන්නේ කෙසේද යන්න පැහැදිලි කළේය.

අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කෙටුම්පත් ක්‍රමෝපාය පිළිබඳ කටයුතු අවසන් කිරීමටත්, පසුව රජයේ අනුමැතිය/ සම්මත කර ගැනීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම සඳහාත් වැඩමුළුව එකඟ විය.

ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී. මාතරආරච්චි මහතා සහ මහාමාර්ග අමාත්‍යාංශයේ, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් ද ‍මෙම සාකච්ඡා සඳහා එක්විය.

ශ්‍රී ලංකාවේ CINEC සමුද්‍ර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතා රාජ්‍ය නොවන අංශය නියෝජනය කරමින් අදහස් බෙදාහදා ගත්තේය. තානාපති කාර්යාලයෙන් පළමු ලේකම් හා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සරිතා රණතුංග මහත්මිය ද මේ සඳහා එක්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය
බැංකොක්
2021 ජූලි 09 වැනි දින

(LNW)