Saturday, May 04, 2024
Follow Us
ප්‍රංශ හා ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමට දෙපාර්ශවය අතර සාකච්ඡා

ප්‍රංශ විදේශ සෘජු ආයෝජන, සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රංශ වෙළඳපොළ වෙත ශ්‍රී ලංකා අපනයනය ඉහළ නැංවීම යනාදි කරුණු පිළිබඳව ප්‍රංශය සමඟ සාකච්ඡා ඇරඹෙයි. ප්‍රංශ ජනරජයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ක්ෂනිකා හිරිඹුරේගම මැතිණිය, ඉකුත් 07 වන දින,පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රංශයේ ප්‍රංශ ජාතික මන්ත්‍රණ සභාවේ ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති චැන්ටල් ජෝර්ඩන් මහත්මිය සමඟ පැරිසියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ කරුණු පිළිබදව සාකච්ඡා පැවැත්වීය. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රංශ ව්‍යාපාර සඳහා පවතින ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලංකාවේ වැදගත්ම වෙළඳපොලක් බවට පත්ව ඇති යුරෝපා සංගමය වෙත උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකික ඇඟලුම් ආනයනය කිරීම පිළිබඳව තානාපතිවරිය මෙහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළාය.

මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති චැන්ටෙල් මහත්මිය සහ තානාපති හිරිඹුරේගම මැතිණිය ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳව සහ රටේ වසංගත තත්ත්ව පැවතිය දීද සිදුවන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. වර්තමාන එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳව සහ ශ්‍රී ලංකාව සිය ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීම සඳහා අඛණ්ඩව එන්නත් ලබා දීමට අපේක්ෂා කරන බව තානාපතිවරිය දැනුවත් කළා.

කොවිඩ්-19 ට එරෙහිව විශේෂයෙන් කොවැක්ස් (COVAX) වැඩසටහන හරහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හදිසි ඉල්ලීම පිළිබඳව ද තානාපතිවරිය අවධාරණය කළ අතර,සංචාරක බුබුලු සංකල්පය යටතේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා, සංචාරක කර්මාන්තයේ සේවකයින් එන්නත් කිරීම මගින් හැකි ඉක්මනින් සංචාරක කර්මාන්තය විවෘත කිරීමේ ශ්‍රී ලංකාවේ සැලැස්ම පිළිබඳව තවදුරටත් විස්තර කළාය. ශ්‍රී ලංකාවේ ඉල්ලීම පිළිබඳව කඩිනමින් කටයුතු කිරීම සඳහා ඔවුන්ට සහාය විය හැකි ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දෙන බව ප්‍රකාශ කළ මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති ජෝර්ඩන් මහත්මිය, එන්නත් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ඇයගේ සහයෝගය යළි අවධාරණය කළාය.

විශේෂයෙන් සමුද්‍ර තාක්‍ෂණය හා කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා බොහෝ කරුණු පවතින බැවින්, විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව ද පැහැදිලි කෙරිණි. යුරෝපයේ ග්ලයිෆොසේට් භාවිතය තහනම් කොට නොමැති බැවින්, මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති ජෝර්ඩන් මහත්මිය ශ්‍රී ලංකාවේ ග්ලයිෆොසේට් තහනම සාදරයෙන් පිළිගත්තාය.

අධ්‍යාපනය හා විදේශීය රැකියා සම්බන්ධයෙන්, විශේෂයෙන් සෞඛ්‍යාරක්‍ෂක හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිපුණ හා අර්ධ නිපුණතා කාණ්ඩවල ප්‍රංශයේ රැකියා අවස්ථා සුරක්‍ෂිත කිරීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ භාෂාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිලිබඳව ශ්‍රී ලාංකික පාර්ශ්වය ප්‍රකාශ කළේය.

මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති ජෝර්ඩන් මහත්මිය මෑතකදී කොළඹ වරාය අසල එම්වී එක්ස්ප්‍රස් පර්ල් නම් නෞකාව ගිලීයාමේ සිද්ධිය පිළිබඳව විමසූ අතර, මෙම සිදුවීම එම ප්‍රදේශය සමීපයේ සිටින ධීවර ප්‍රජාවේ ජීවනෝපායට හා පරිසරයට බලපා ඇති ආකාරය පිළිබඳව ප්‍රකාශ විය. මෙම සිද්ධියෙන් පසු ප්‍රංශ විශේෂඥයින් මඟින් ලබා දුන් ප්‍රංශයේ සහාය වෙනුවෙන් තානාපතිවරිය මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති චැන්ටෙල් මහත්මිය වෙත ප්‍රශංසාව පළ කළාය.

මෙම රැස්වීම අවසන් කරමින්, තානාපති හිරිඹුරේගම මැතිණිය මෙම වසර අවසානයේ දී හෝ ලබන වසර මුල දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ප්‍රංශ-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සාමාජිකයින් හට ආරාධනා කළාය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සරි ප්‍රධානී සහ දෙවැනි ලේකම් දුලන්ජි හේරත් මහත්මිය සහ තුන්වැනි ලේකම් අමිල දිසානායක මහතා ද තානාපතිවරිය සමඟ මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරිස්
2021 ජූලි 09 වැනි දින

(LNW)