Sunday, May 05, 2024
Follow Us
ලෝකය කඳවුරු දෙකකට බෙදීම තවදුරටත් වලංගු නැහැ - මහින්ද රාජපක්ෂ

(චීන කොමියුනිට්ස් පක්‍ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති ඔන්ලයින් සමුළුව අමතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ කතාව)

චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මහජන චීනයේ ජනාධිපති ෂී-ජින්-පින් මැතිතුමනි, සම්භාවනීය අමුත්තනි,

ආයුබෝවන්,

චීන කොමියුනිස්ට් පක්ෂයට වසර සියයක් සම්පූර්ණ වන මේ මොහොතේ මගේත් අපේ රටේ ජනතාවගේත් උණුසුම් සුබ පැතුම් පිරිනමනවා. ඓතිහාසිකව චීනය අප සමඟ පැවැත්වූ සම්බන්ධතා වෙනුවෙන් පිරිනැමෙන ගෞරවයත් ඒ සුබ පැතුම් තුළ තිබෙන බව මම කියන්න ඕනෑ.

චීනය අපේ ඓතිහාසික මිත්‍රයෙක්. ඒ දීර්ඝ ඉතිහාසයේ චීනය අපත් සමඟ කටයුතු කර තිබෙන ආකාරය අනුව චීනය අපට ඉන්න ඉතා ම අව්‍යාජ මිත්‍රයා බව පිළිගන්න ඕනෑ.

චීන කොමියුනිට්ස් පක්‍ෂයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සහ චීනයත් ශ්‍රී ලංකාවත් අතර දිරීඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා අගය කිරීම වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා.

ෂී -ජින්-පින් ජනාධිපතිතුමනි,

චීන කොමියුනිස්ට් පක්ෂය චීනය රතු චීනයක් බවට පත් කරලා දැන් වසර 72 ක් සම්පූර්ණ වෙනවා.

අපි චීන රජයත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත්තේ 1957 තරම් ඈත කාලයේදී. එහෙත් චීනය ස්වාධීන චීනයක් බවට පත් කළ චීන කොමියුනිස්ට් පක්ෂයත් සමඟ ඊටත් පෙර අපේ රටේ වාමාංශික ව්‍යාපාර සබඳතා පවත්වලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1940 දශකයේ ඉඳන්ම චීනයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා පැවැත්වූවා. චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා පවත්වන්න පුළුවන් වුණේ සමානාත්මතාව, සහෝදරත්වය පිළිබඳ අදහසට ගරු කරන ජනතාවක් ලංකාවේ වෙසෙන නිසා බව මම ඉතා සතුටින් කියන්න ඕනේ.

දැන් චීන කොමියුනිස්ට් පක්ෂය තමයි ලෝකෙ තියෙන දැවැන්තම දේශපාලන පක්ෂය. ඒ දේශපාලන පක්ෂයේ විදේශ සබඳතා පිළිබඳ ප්‍රතිපත්තිය මත වසර 70 ක් ලෝකයට ඉතාම වැදගත් පණිවිඩයක් ලබා දී තිබෙන බව මම කියන්න ඕනේ.

ජනාධිපතිතුමනි,

චීනය ගෝලීය වේදිකාවට ඔසවා තැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති ස්ථාවරය බව මම දන්නවා. කෙසේ වෙතත්, චීනය කිසි විටෙකත් තමන්ගේ දේශපාලන අදහස් ලෝකය මත පැටවීමට උත්සාහ කර නැහැ. ඒ වාගේම වෙනත් රටවල කටයුතු තමන්ට නියාමනය කරන්න අවශ්‍යතාවක් තියෙනවාය කියන හැඟීම චීනයට කවදාවත් තිබුණෙ නැහැ. චීනය වෙනත් රටවල්වලට උපකාර කළේ තමන්ගේ සමතැනේ තියාගෙන. මේ කාරණය රටක ස්වාධීනත්වයටත් පරමාධිපත්‍යයටත් ඉතා ම වැදගත්. ඒ රටවල්වලට තමන්ගෙ ස්වාධීනත්වය තියාගෙන කටයුතු කරන්න ඉඩ දීම නිසා ම චීනය සමඟ ගනුදෙනු කරන්න ලෝකයේ රටවල් කිසිසේත් පැකිලුණේ නැහැ. ලංකාවත් එහෙමයි.

ඒ නිසාම තමයි චීනයට ලෝකයේ බොහෝ දොරටු විවර වුණේ. ඒ පිළිවෙත ජාත්‍යන්තර වශයෙන් චීනයේ ඉදිරි ගමනට ඉතා ම වැදගත් වෙනවා. ඒ ඉදිරි සියවසේ ආසියාවේ නැගිටීමට චීනය මුල් වෙන බව දැන් යථාර්ථයක් වෙලා ඉවරයි.

ලෝකය කඳවුරු දෙකකට බෙදීම තවදුරටත් වැදගත් නැහැ. මේ බෙදීම නිසා ආසියානු අප්‍රිකානු රටවල් මුහුණ දී තිබූ දුෂ්කරතාවලින් මුදා ගන්න විශාල ඓතිහාසික මෙහෙවරක් චීනය කළා. ලෝකය කඳවුරු දෙකකට බෙදීම නිසා අපහසුතාවලට මුහුණ දීපු ලෝකයට උදව් කළේ චීනයයි. එදා චෞ එන්ලායි නොබැඳි ජාතීන් පිළිබඳ අදහස ලෝකයට දුන්නේ ලෝක සහනය වෙනුවෙන්. එදාට වාගේ ම අදටත් ඒ නොබැඳි ප්‍රතිපත්තිය ලෝකයට සහනයක්.

චීනයේ වර්තමාන ප්‍රතිපත්තිය වන්නේ Belt and road Initiative. චීනයේ මෙම එක මාවත එක තීරය අපට ආගන්තුක දෙයක් නොවෙයි. මොකද ඉතිහාසයේ අපි හිටියේ චීනය හා සම්බන්ධ වූ සේද මාවතේ එක් තැනක. පාහියන් භික්ෂුව වගේ ම බොහෝ වෙළෙඳුන් ව්‍යාපාරික ජනතාව චීනයේ සිට යන එනකොට අපේ රටත් සමඟ ගනුදෙනු කළා.

ඒ වගේ ම තමයි අද චීනය මේ සේද මාවතේ ගමන් කරන්නේ ලෝකයට බොහෝ දේවල් උගන්වන්න පුළුවන් රටක් විදිහට. විවෘත ආර්ථිකය ලෝකය පුරා පැතිර ගියේ ලෝකයේ බොහෝ රටවල ආකෘතීන් පවා වෙනස් කරමින්. නමුත් චීනය විවෘත ආර්ථිකය කියන ලෝක යථාර්ථය බාරගත්තෙ චීනයට ම ගැළපෙන විදිහට.

ඒ නිසා විවෘත ආර්ථිකය චීනය භාරගත්තේ රටේ පන්ති භේදය ඇති කරන රට දුර්වල කරන දෙයක් බවට පත් කරගෙන නොවේ. චීනය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ චීනයේ හිටපු මිලියන නවසීයක ජනතාවකගේ දුප්පත්කම තුරන් කරලා තිබෙනවා. විවෘත ආර්ථිකය භාර ගත්ත විදිහෙන් චීන කොමියුනිස්ට් පක්ෂය විශාල ආදර්ශයක් ලෝකයට දීලා තියෙනවා. මීට වසර පන්සියයකට කලින් ආසියාවට තිබුණු ආර්ථික ශක්තිය මේ සේද මාවත ඔස්සේ යළිත් චීනය ආසියාවට ලබා දෙන බව මට විශ්වාසයි.

ජනාධිපතිතුමනි,

යටිතල පහසුකම් දියුණු කිරීමෙන් ජනතාවට නව මාවත් පෑදෙන බව ජනතාවගේ ශක්තීන් මතුවන බව චීනය නිරන්තරයෙන් විශ්වාස කළා. ඒ නිසා අපි නිරන්තරයෙන් චීනයට ආරාධනා කර සිටියා අපේ රටේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා. ඒ වගේ ම චීනය Carbon Neutral රටක් බවට 2060 වර්ෂයේ දී පත්කරන බවට සැලසුම් කොට තිබෙනවා. එබැවින් චීනයෙන් කෙරෙන ආයෝජනවලින් ප්‍රයෝජන ගන්නා සේද මාවතේ රටවල්ද ඒ හා සමාන අරමුණක් ඇතිව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. Carbon Neutral රටක් කිරීම පමණක් නෙවෙයි ඉන්දියන් සාගරය දූෂණයෙන් තොර තැනක් බවට පත් කර ගැනීමේ වගකීම අද ඒ දෙපස තිබෙන සියලු රටවල වගකීමක්.

ඒ වගේ ම සිනොෆාර්ම් එන්නත නිපදවලා එය ලෝකයට නොමසුරුව පරිත්‍යාග කිරීම පිළිබඳව චීනයට මාගේ කෘතඥතාව පළ කළ යුතුයි. එය ලෝකයත් සමග බෙදා ගැනීමේ දී කොමියුනිස්ට් පක්ෂය ලෝකයට ආදර්ශයක් ලබා දුන්න බව මම කියන්න ඕන. මේ වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයට තිබුණු ආදර්ශ පාඨය තමයි ඇති නැති පරතරයන් තොරව සියලු දෙනා වෙත එන්නත ලබා දිය යුතුයි කියන එක. ඒ විතරක් නෙවෙයි චීනය සොයා ගත්ත එන්නත අපි වාගේ රටවලටත් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අවසර ලබා දීලා තිබෙනවා. මේ වාගේ ලෝක වසංගතයකදී චීන කොමියුනිස්ට් පක්ෂය මුල්වෙලා ගත් තීන්දු මානව යහපත වෙනුවෙන් ගත් තීන්දු ලෙස විශාල ගෞරවයක් ඒ සඳහා හිමිවෙනවා.

ජනාධිපතිතුමනි, ඔබගේ රටත්, මාගේ දේශයත් බෞද්ධ. ලෝකයේ ඉතා තීරණාත්මක වසංගතයක් හමුවේ බෞද්ධ අපට ලොව වෙනුවෙන් හැමදාම ප්‍රාර්ථනාවක් තිබෙනවා.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
දුකින් මිදෙත්වා!
නීරෝගි වෙත්වා!

(LNW)