Sunday, May 05, 2024
Follow Us
20 වසරක යුද්ධය නිමා කරමින් ඇමරිකානු හමුදාව මහ රෑ නොකියාම ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි!

ඇමරිකානු හමුදාව, ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම ගුවන් මර්මස්ථානයක් ලෙස සැලකෙන බග්රම් වෙතින්, කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් වී ඇති බව බග්රම් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා පවසයි.

ජනරාල් අසාදුල්ලා කොෂිතානි BBC පුවත් සේවය සමග පවසා තිබෙන්නේපසුගිය සිකුරාදා අළුයම 3 ට පමණ ඇමරිකානු හමුදාව පිටත්ව ගොස් ඇති බවයි. ඒ බව ඇෆ්ගන් හමුදාව දැනගෙන තිබෙන්නේ එයට පැය කිහිපයකට පසුව ය.

බග්රම් කඳවුරේ සිර කඳවුරක්ද පැවති අතර, එහි තලෙයිබාන් සටන්කරුවන් දහස් ගණනක් රඳවා තිබිණි. වාර්තාවල දැක්වෙන අන්දමට ඒ අතරින් 5000 කට අධික පිරිසක් ද පළා ගොස් හෝ පිටව ගොස් තිබේ.

ඇමරිකානු හමුදාවේ මෙම අනපේක්ෂිත ඉවත්වීමත් සමග තලෙයිබාන් සටන්කරුවන්ගේ ප්‍රහාර දැඩි වී ඇති බව ද වාර්තා වේ. ජනරාල් කොෂිස්තානි පවසන්නේ බග්රම් කඳවුරට තලෙයිබාන් සටන්කරුවන් පහර දීමේ අවදානමක් හටගෙන තිබෙන බවයි.

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන දිනය ලෙස නිල වශයෙන් පවසා තිබුණේ සැප්තැම්බර් 11 වැනිදා ය. නමුත් සිකුරාදා තමන් මෙසේ ඉවත් වූ බව ඇමරිකාව පසුව නිවේදනය කළේය. ඔවුන් පවසන්නේ ඇෆ්ගන් නායකයන් වෙත සිය සැලසුම දැනුම් දී තිබූ බව සහ, කඳවුරු ගණනාවකින් මේ ආකාරයට එකවර ඉවත් වූ බවයි.

ඒ අනුව ඔවුන් මාස කිහිපයක් කලින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමටත් වඩා ප්‍රශ්න සහගත වී තිබෙන්නේ ඔවුන් ඉවත් වූ ආකාරය යි.

ඇමරිකානුවන් හදිසියේ කලබලයෙන් මෙසේ පිටව ගිය බව පෙනෙන්නට තිබෙන්නේ ඔවුන් විසින් දමා ගිය දේවල් අනුව ය. ඇෆ්ගන් හමුදාවට අනුව විවිධ වාහන ඇතුළු අයිතම මිලියන 3.5 ක් පමණ ඔවුන් විසින් ඇෆ්ගනිස්ථානයේ දමා ගොස් ඇත. ඒ අතර දහස් ගණනක් මෝටර් රථ වාහන මෙන්ම යුද්ධ ටැංකි වැනි හමුදා අයිතම ද වේ. මෙම වාහනවල යතුරු නොමැති බව ද වාර්තා වේ.

තවද වතුර බෝතල් දස දහස් ගණනක්, කලින් පිසින ලද හමුදා ආහාර (MRE) සහ ශක්ති ජනක පානයන් ද ලක්ෂ ගණනින් තිබේ.

පුපුරණ ද්‍රව්‍ය තොග පිටින් පුපුරවා හැර ඇති බවත්, බර අවි සියල්ල ගෙන ගොස් ඇති බවත් මේ අතර දැකගත හැකිය. ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදාව විසින් දමා යන්නේ කුඩා ආයුධ ප්‍රමාණයකි.

2001 සැප්තැම්බර් 11 දා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වීමෙන් පසුව ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය (war on terror) ලෝකය පුරාම දියත් කළේය. කෙසේ නමුත් ඔවුන් වැඩ පටන් ගත්තේ ඇෆ්ගනිස්ථානයට ගොඩ බැසීමෙනි. මේ වසරේ සැප්තැම්බර් 11 වැනිදාට ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අරඹා වසර 20 ක් සම්පූර්ණ වේ.

www.outboundtoday.com/