Sunday, May 05, 2024
Follow Us
රුපියල් දහසේ සමරු කාසිය ජනාධිපති අතට

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජතාන්ත්‍රික සබදතාවද, 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පිලිගන්වනු ලැබුවා.

ඒ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් විසින්.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය හා අනෙයෝන්‍ය සබදතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කර තිබෙනවා.

එහි එක් පසෙක ශ්‍රි ලංකාවේ හා චීන ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ ඉදිරිපස පෙනුම දැක්වෙනවා.

කාසියේ පරිධියේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ශ්‍රී ලංකාව සහ චීනය වසර 65 යි යනුවෙන් සටහන් කර ඇති අතර කාසියේ අනෙක් පස රුපියල් දහස සහ චීන කොමියුනිස්ට් පක්ෂය යන්න භාෂා ත්‍රිත්වයෙන් සදහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

එවැනි රන් සමරු කාසි 500 ක් සහ රිදි සමරු කාසි 2,000 ක් නිකුත් කල බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 06 ක ප්‍රගතිය අලලා සකස් කළ ,ද පර්ල් ඔෆ් ද සිල්ක් රූට්, ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිලිගැන්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.

මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යූ විසින් ග්‍රන්ථයේ මුල් පිටපත එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

2014 වසරේ සැප්තැම්බර් මස 16 වනදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෙරට සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජින් පින්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කෙරුණා.

එය දකුණු ආසියාවේ පළමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය වනවා.

(NEth)