Sunday, May 05, 2024
Follow Us
කෙරවළපිටිය බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීමේ සුදානමක්

කෙරවළපිටියේ පිහිටි යුගදනවි ඩීසල් විදුලි බලාගාරයේ කොටස්වලින් 51%ක් ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ‘අරුණ’ට වාර්තා වේ.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් කෙරවළපිටිය වෙස්ට් කෝස්ට් පවර් සමාගම විසින් මෙම ඩීසල් බලාගාරය දැනට කළමනාකරණය කරනු ලබයි.

මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණයට අනුව මෙම බලාගාරයේ කොටස්වලින් 51ක් නිව් ෆෝට්රස් එනර්ජී සමාගම (New Fortress Energy) වෙත පවරාදීමට යෝජිතය. දැනට මෙම බලාගාරයේ කොටස්වලින් 23.9ක සේවක අර්ථසාධක අරමුදලට හිමි අතර එම කොටස් ප්‍රමාණය ඇමරිකානු සමාගමට පවරාදීම අරමුදල ප්‍රතික්ෂේප කර ඇත.

එම නිසා දැනට මහා භාණ්ඩාගාරය යටතේ ඇති කොටස්වලින් 51%ක් මෙලෙස ඇමරිකානු සමාගමට ලබාදීමට යෝජනා කර තිබේ. දැනට බලාගාරයේ කොටස් බෙදී ඇත්තේ මහා භාණ්ඩාගාරයට 51ක්, සේවක අර්ථසාධක අරමුදලට 23.9%ක්, ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට 18%ක් සහ ලංකා විදුලිබල සමාගමට 7.1%ක් වශයෙනි.

මේ පිළිබඳව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුමගෙන් ‘අරුණ’ කරන ලද විමසීමකදී ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ මෙවැනි කොටස් පැවරීමක් පිළිබඳ විෂය භාර ඇමැතිවරයා ලෙස තමා කිසිවක් නොදන්නා බවයි. අදාළ තීරණය පිළිබඳව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගලගෙන්ද ‘අරුණ’ විමසූ අතර ලේකම්වරයා සඳහන් කරන ලද්දේ කැබිනට් මණ්ඩලය හමුවේ පවතින යෝජනා පිළිබඳව තමා නොදන්නා බවත්, ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කිරීම සුදුසු නොමැති බවත්ය.

 

(Aruna)