Friday, September 20, 2024
Follow Us
ලංකා හෝටල් පාසල් උපා­ධි­ධා­රීන් ඇම­රි­කානු ජාතික විද්‍යා­ලය ගිවි­සු­ම­කට

ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමය (CHSGA), සත්කාර ක්ෂේත්‍රය තුළ යළිත් වරක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමරිකානු ජාතික විද්‍යාලය (ANC Education) සමග එක්ව සත්කාර කළමනාකාරණ MBA උපාධිය සිය සාමාජිකයන් වෙනුවෙන් හඳුන්වා දුන්නේය. නව පරපුර වෙත දැනුම බෙදාහැරිම පුළුල් කිරීම සඳහා මෙම උපාධි වැඩසටහන තුළ සුවිශේෂී අධීක්ෂණ වැඩසටනනක් ද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ සංචාරක සහ සත්කාර ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් පදනමක් සැකසීම සඳහා CHSGA සංගමය දියත් කරන පස් අවුරුදු ක්‍රමෝපායික සැලසුමේ තවත් පියවරක් ලෙස මෙම උපාධි පාඨමාලාව හඳුන්වා දී ඇත.

CHSGA සංගමය 2019 ජුලි මස 18 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී ANC Education ආයතනය සමග මීට අදාළ ගිවිසුමට එළඹියේය. ඒ අනුව සිය සාමාජිකයන් හට ලබාගත හැකි විශිෂ්ටත ම සත්කාර කළමනාකරණ MBA උපාධියක්වන බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ (UWL) සත්කාර කළමනාකරණ MBA උපාධිය හිමිකර ගැනීමට ඔවුන්ට හැකි වේ. සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග, CHSGA සංගමයේ සභාපති සමන්ත ගුණරත්න, එම සංගමයේ ක්‍රමෝපාය සැලසුම් කමිටුවේ සභාපති පැට්‍රික් පෙරෙයිරා, ANC ආයතනයේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පුනර්ජීව කරුණානායක, එම ආයතනයේ සභාපති ආචාර්ය ජගත් අල්විස්, බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ක්ලෝඩ් ලිට්නර් ව්‍යාපාරික පාසලේ පීඨාධිපති ආචාර්ය සුරේෂ් ගම්ලත් යන මහත්වරුන් මෙන්ම CHSGA සංගමයේ හිටපු සභාපතිවරු සහ විධායක කමිටු සාමාජිකයෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(Dinamina)