Friday, September 20, 2024
Follow Us
ලංකාවට කොන්දේසි රහිතව අඛණ්ඩව ආරක්ෂක උපකරණ හා පුහුණුව ලබා දෙනවා - චීනය

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ආරක්ෂක උපකරණ ලබාදීම සහ පුහුණුව ලබාදීම අඛණ්ඩව සිදු කරන බව චීන බළධාරීන් පවසනවා. ඒ සඳහා දේශපාලන හෝ වෙනත් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකරණ බවයි එම බළධාරීන් අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුආන් මහතා, චීන මහජන විමුක්ති හමුදාවේ 92 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ ලිපියක මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආරක්ෂාව සහතික කිරීම සඳහා චීන රජය පූර්ණ සහයෝගය පළ කරන බව ද එම ලිපියේ සඳහන් වේ. එම සහයෝගය ලබා දෙන්නේ අදාල රටවල ආරක්ෂක හැකියාව වර්ධනය කිරීම සඳහා බවත්, එම රටවල අභ්‍යන්තර කටයුතුවලට බාධා කිරීමට හෝ වෙනත් කොන්දේසි පැනවීමට චීන රජය කිසිසේත් කටයුතු නොකරන බවත් චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී චීන රජයේ මැදිහත්වීම යටතේ යුද හමුදාවට සම්පූර්ණ පහසුකමවලින් සමන්විත ශ්‍රවණාගාරයක් හා පසුගිය මාසයේදී නාවික හමුදාවට නෞකාවක් ලබා දී ඇති බවත් අදාල ලිපියේ සඳහන් වේ. මීට අමතරව පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිළධාරීන් 20 කට වැඩි ප්‍රමාණයකට චීන රජය විසින් හදිසි ත්‍රස්ත විරෝධී පුහුණුවක් ද ලබා දී තිබේ.

මීට අමතරව 1990 සිට මේ දක්වා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා චීන මහජන විමුක්ති හමුදා භටයන් 39,000 කට වැඩි පිරිසක් පිටත් කර තිබේ.

(LNW)