Friday, September 20, 2024
Follow Us
ඉන්දීය ජාතික බුද්ධි කාර්යාංශය පාස්කු ප්‍රහාරයේ විමර්ශන අරඹයි!

ඉන්දියාවේ ජාතික බුද්ධි කාර්යාංශය විසින් මෙහෙයවන පළමු විදේශීය පරීක්ෂණය බවට ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පත්වනු ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

එම පරීක්ෂණ සඳහා අවසරය ලබාදෙන පනතක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගෙන තිබේ.

ඉන්දියාවේ ජාතික බුද්ධි කාර්යංශයේ නිලධාරීන් දෙදෙනෙකු පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව පැමිණ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ජා කර තිබුණි.

IS ත්‍රස්තවාදීන්ගේ බලපෑම් ඉන්දියාවට ද එල්ල වී ඇති බව ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාවේ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙක්ද ඉන්දියාවේ සංචාරය කර ඇති බව සඳහන් වුණි.

කෙසේවෙතත් ඉන්දියාව මෙම ත්‍රස්ත කල්ලියට එරෙහිව ආරක්ෂක රැකවල් දැඩි කර ඇති බවයි එරට වාර්තා පෙන්වා දී තිබුණේ.

ඉන්දියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙන 1908 පුපුරණ ද්‍රව්‍ය සංශෝධිත පනත මඟින් මිනිස් ජාවාරම, ව්‍යාජ මුදල්, තහනම් ආයුධ නිෂ්පාදනය කිරීම හෝ විකිණීම, සයිබර් ත්‍රස්තවාදය සහ වැරදි යන කාරණා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉන්දියාවේ ජාතික බුද්ධි කාර්යාංශයට බලය ලැබී තිබේ.

මෙම සංශෝධනවලට අනුව ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි විශේෂ අධිකරණයක එම නඩු විභාග කිරීමට නියමිතයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර එවැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ එරටට ද දැනුම් දී තිබුණි.

මෙරට බුද්ධි අංශ වෙතද පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ලබා දී තිබූ බවට ද පාස්කු ප්‍රහාරයෙන් පසු කරුණු අනාවරණ විය.

මේ වන විට මෙරට ආරක්ෂක අංශ මඟින් එය පිළිගෙන තිබේ.

එවැනි පසුබිමක පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ඉස්ලාමීය අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයන්ගෙන් පුද්ගලයන් 250කට වැඩි පිරිසක් මිය ගියේය.

(LNW)