Friday, April 26, 2024
Follow Us
යුරෝපා සංගමයේ ත‍්‍රස්ත මර්ධන නිලධාරියෙක් මහින්දව හමුවෙයි

යුරෝපා සංගමයේ ත‍්‍රස්ත මර්ධන සම්බන්ධීකාරක, ජයිල්ස් ද කර්කොව් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ සිදුවුණා. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදීයි.

සිය සංචාරයේ අරමුණ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ත‍්‍රස්ත මර්ධන සම්බන්ධීකාරකවරයා මෙහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව දැනුවත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය වඩාත් සූක්ෂම කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට ද යුරෝපා සංගමයේ ත‍්‍රස්ත මර්ධන සමබන්ධීකාරක ජයිල්ස් ද කර්කොව් මෙහිදී සහය පළ කළා. ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය අදහස් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව දරණ උත්සහයට සහය වන බව ද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ තමන් ජනාධිපතිධූරය දැැරූ සමයේ සැමවිටම ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ ප‍්‍රමුඛතාවක් ලබා දී තිබූ බවයි. වර්තමානයේ ද ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයට පූර්ණ සහය ලබා දී ඇති බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, යුරෝපා සංගමයේ ත‍්‍රස්ත මර්ධන සම්බන්ධීකාරකවරයා වෙත මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

(Neth)