"පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැවිලි කර්මාන්තය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින්, "තාක්ෂණ සහ ශ්‍රම ශක්තියෙන් අනාගත දිනන හලාවත වැවිලි සමාගම" වැඩසටහන යටතේ හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ නිල වශයෙන් බෙදාදීම අද (05) පලුගස්වැව වතු කලාපයේදී සිදු කෙරිණි.
මෙහිදී රුපියල් මිලියන 150කට අධික වටිනාකමකින් යුත් ජල බවුසර් 22ක්, ට්‍රැක්ටර් 27ක්, ට්‍රැක්ටර් ටේලර් 13ක්, අත් ට්‍රැක්ටර් 10ක්, අත් ට්‍රැක්ටර් ටේලර් 7ක්, තණකොළ කපන යන්ත්‍ර 31ක්, යාන්ත්‍රික කියත් යන්ත්‍ර 2ක්, වල් කපන යන්ත්‍ර 14ක්, රොටාවෙටර් යන්ත්‍ර 4ක් සහ ඩිස්ක් හැරෝ යන්ත්‍ර 10ක් ඇතුළු නවීන කෘෂි යන්ත්‍රෝපකරණ තොගයක් හලාවත වැවිලි සමාගමේ වතු කලාප වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
වතු අංශයේ යාන්ත්‍රිකකරණය ප්‍රවර්ධනය කිරීම, ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණය ඔස්සේ වැවිලි කර්මාන්තය අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි යාවත්කාලීන කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මෙම අවස්ථාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභේරත්න, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වතු කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටියහ.