Tuesday, April 23, 2024
Follow Us
ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වීමේ අවදානමක්

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු‍ මෙට්‍රික් ටොන් 2500ක් සොයා ගැනීමට නොහැකිව ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වීමේ අවදානමක් මතුව තිබේ. පාලන මිල ඉක්මවා බඩඉරිඟු අලෙවි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත.

බඩ ඉරිඟු‍ ලබා ගැනීම සඳහා ටෙන්ඩර කැඳවා ඇතත් ලැබී ඇති මිල ගණන්වලට අනුව කිලෝ ග්‍රෑමයක් රුපියල් 75 ඉක්මවයි. බඩඉරිඟු‍ ලබා ගැනීමේ පාලන මිල රුපියල් 65ක් වෙයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කර ඇති බඩඉරිඟු‍ද කිලෝ ග්‍රෑමයක් රුපියල් 75කට ලබාදිය හැකි බව එම දෙපාර්තමේන්තුව හා ත්‍රිපෝෂ සමාගම කළ සාකච්ඡාවකදී දැනුම් දී තිබේ.

මේ නිසා සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්දෙන් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වී තිබේ. තවද ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ සේවකයන් කිහිපදෙනකුට කොවිඩ් වැලඳීමද නිෂ්පාදන කටයුතු නතර වීමට තවත් හේතුවක් වූ බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.

කෙසේ වෙතත් ගොවි සංවිධාන සමග සාකච්ඡා කර ගොවීන් ගබඩා කර ඇති බඩඉරිඟු‍ මිලදී ගෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය ආරම්භ කරන බව සභාපතිවරයා ප්‍රකාශ කරයි.

ළදරුවන් සහ ගර්භණී කාන්තාවන්ට අතිරේක පෝෂණ ආහාරයක් ලෙස ත්‍රිපෝෂ බෙදාදෙයි. සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්දෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ සහ තදාසන්න ප්‍රදේශවල ත්‍රිපෝෂ බෙදා හැරීම විධිමත්ව සිදුවූවත්, ගම්බද ප්‍රදේශවල නිසි පරිදි බෙදා දීමට ප්‍රමාණවත් ත්‍රිපෝෂ නොලැබුණු බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු අනාවරණය කරයි.

(Aruna)