මෙම වර්ෂය අවසානයට පෙර එම ඉලක්කයෙන් 50% ක් බඳවා ගන්නවා...
- සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස
2025 - 2029 දක්වා වු වත්මන් රජයේ මුල් වසර පහ තුළ හෙද සේවාවට 13600ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, අද ලබා දෙන පත්වීම් සමඟ එම ඉලක්කයෙන් 30%ක් සම්පූර්ණ වූ බවත්, ලබන ඔක්තොම්බර් මාසයේ ලබා දීමට නියමිත හෙද පත්වීම් 2867 සමඟ එම ඉලක්කයෙන් 50%ක් සම්පූර්ණවන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්යවරයා මෙම කරුණු අනාවරණ කරනු ලැබුවේ මෙරට නිදහස් සෞඛ්ය සේවාවේ මානව සම්පතේ, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් විද්යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු හෙද නිලධාරී පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
පත්වීම් ලිපි ප්රදානය කොළඹ 07 පදනම් ආයතන පරිශ්රයේ දී අද (29) දින පෙරවරුවේ සිදු කෙරිණි.
III ශ්රේණියේ හෙද නිලධාරීන් ලෙස සේවයට බඳවා ගන්නා ලද මෙම නිලධාරීන් රජයේ විශ්වවිද්යාල මඟින් විද්යාවේදී ගෞරව හෙද උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර ශ්රී ලංකා හෙද සේවා ව්යවස්ථාවට අනුව හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව (Nursing Orientation and Coordination Training) දිවයින පුරා ස්ථාපිත රජයේ රෝහල් 31 ක දී සාර්ථකව හදාරා ඇත.
දිවයින පුරා මධ්යම රජය යටතේ පාලනය වන ජාතික රෝහල්, ශික්ෂණ රෝහල් සහ දිස්ත්රික් මහ රෝහල් තුළ පවතින පුරප්පාඩු ප්රමාණය සහ සේවා අවශ්යතාවය පිළිබඳව සළකා බලා මෙම හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය කටයුතු කර ඇත.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා මේ වනවිට ක්රමාණුකූලව මෙරට හෙද සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරමින් සිටින බවත්, පසුගිය වර්ෂයේ හෙද විදුහල්වලින් පුහුණුව අවසන් කළ 3441 දෙනෙකුට පත්වීම් ලබා දීමට කටයුතු කළ බවත් පැවසීය. එය මෑත කාලයේ හෙද සේවාවට බඳවා ගත් විශාලතම කණ්ඩායම බවත්, අද දින පත්වීම් ලබන මෙම 515 දෙනා සමඟ 3956 දෙනෙක් ගෙවුණු වසරක කාලය තුළ සේවාවට ඇතුළත් කරගෙන ඇති බව ද සඳහන් කළේ ය.
එළැඹෙන ඔක්තොම්බර් මාසයේ දී තවත් 2867දෙනෙක් හෙද සේවාවට ඇතුලත් කර ගන්නා බවත්, ඒ අනූව 2025 සහ 2026 යන වර්ෂවලදී අළුතින් හෙද සේවාවට 6823ක් ඇතුළත්වන බවද අමාත්යවරයා සඳහන්කර සිටියේය.
ඊට අමතරව මේවන විට තවත් 1949ක කණ්ඩායමක් 2028 වර්ෂයේ දී සහ 2920 කණ්ඩායමක් 2029 වර්ෂයේ මැද භාගයේ දී පත්වීම් ලබා ගැනීමට නියමිත බවත් සදහන්කළ අමාත්යවරයා ක්රමාණුකූලව හෙද විදුහල් වලිනුත් විද්යාවේදී උපාධිධාරීන් හැටියට විශ්ව විද්යල වලිනුත් බදවා ගැනීම් සිදුකර අවශ්ය ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේ ය.
නිෂ්චිත ඉලක්කයන් සහිතව මෙරට සෞඛ්ය සේවාව පුළුල්වන ආකාරටය නව සේවාවන් ඇති කිරිම මෙන්ම ලෝකයේ නිර්ණායකයන් ද සලකමින් ඉදිරි වසර කිහිපය සදහා ඉලක්ක සකස්කර ඇති බව සදහන්කළ අමාත්යවරයා අමාත්යාංශය එම ඉලක්ක අනූව කටයුතු කරමින්යන බවද පැවසීය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අදහස් දක්වමින් හෙද සේවාව මෙරට අද්විතීය සේවාවක් බවත් එම සේවාව දැඩි විනයක් සහිතව සිදුවන සේවාවක් බව දශක ගණනාවක සිට නිරීක්ෂණය වී ඇති බව පැවසීය.
විද්යාවේදී හෙද උපාධිධාරීන් III ශ්රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2021 වර්ෂයේදී ය. ඒ අනුව වසර පහකට පසු මෙම බඳවා ගැනීමද සිදුවීම සුවිශේෂී කරුණකි.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, විශේෂඥ වෛද්ය කුමාර වික්රමසිංහ, කේ.පී. යෝග චන්ද්ර, වැඩබලන සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය චම්පිකා වික්රමසිංහ, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්ය සුරංග දොළමුල්ල, සුමේධා ප්රියභාෂිනි, හර්ෂප්රිය සිසිර කුමාර,ශ්රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි සීතා බණ්ඩාර, යන මහත්ම මහත්මීන් මෙන්ම එම අමාත්යාංශයේ අධ්යක්ෂවරුන් ,ඇතුළු නිලධාරීන්, රෝහල් අධ්යක්ෂවරුන්, හෙද විදුහල්වල විදුහල්පතිවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.