මෙරට හෙද සේවාව උපාධි මට්ටමට උසස් කිරීමේ අරමුණින් ජාතික හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ රජයේ ප්‍රතිපත්ති යෝජනා යටතේ පිහිටුවන ලද විශේෂ කමිටුවේ තත්ත්ව සමාලෝචනය සඳහා වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්තු 23වැනි දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම කටයුතු වෙනුවෙන් කමිටුවේ මෙතෙක් ක්‍රියාවලිය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සොයා බැලූ අතර කමිටු සාමාජිකයන් වෙත පැවති ගැටලු සහ අදහස් කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.
විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම යනු දිගුකාලීන සහ සංකීර්ණ ක්‍රියාවලියක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, හදිසි තීරණයන්ගෙන් තොරව, උසස් අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව සහ දැනට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අර්බුද සහ අභියෝග සලකා බලමින්, මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම වැදගත් බව පෙන්වා දෙන ලදී.
මෙම සාකච්ඡාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය කේ. එල් වසන්ත කුමාර, සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ද සහභාගී වූහ.