දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුයි.
- ජනාධිපති ලේකම්
අල්ලස සහ දූෂණයයෙන් තොර සුපිළිපන් රාජ්ය සේවයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දුන් රාජ්ය ආයතන 250හි ආයතන ප්රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (29) ශ්රී ලංකා පදනම් ආයතන ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස රාජ්ය ආයතන 106ක අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවා එම නිලධාරීන් පුහුණු කිරීම මීට පෙර සිදු කරන ලද අතර, එහි දෙවන පියවර ලෙස තවත් රාජ්ය ආයතන 250ක අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනේ අනුග්රහය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.
ශ්රී ලංකාව අධ්යාපනය, සෞඛ්ය වැනි ක්ෂේත්රයන්හි ශ්රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක රැඳී සිටියත් 2024 දූෂණ සංජානන දර්ශකයේ ශ්රී ලංකාවට හිමි වන්නේ 121 වන ස්ථානය බවත් එය අනෙක් ක්ෂේත්රයන්හි ශ්රේණිගත කිරීම්වලට අහිතකර ලෙස බලපෑ හැකි බවත් මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේය.
පසුගිය ජනතා නැඟී සිටීමේදී ප්රධාන සටන් පාඨය දූෂිත දේශපාලනයට එරෙහිව වුවත් එම චෝදනාව දූෂිත දේශපාලනඥයින්ට පමණක් නොව දූෂිත රාජ්ය නිලධාරීන්ටද එල්ල වූ බව පැවසූ ජනාධිපති ලේකම්වරයා එම ජනතා නැගී සිටීම සිදු වූයේ ආර්ථික වශයෙන් රට බංකොලොත් වී එහි අනිටු ප්රතිඵල ඔවුන්ට දැනෙන්නට වූ අවස්ථාවේ බවත් ජනතාව නැඟී සිටීම ක්රමානුකූල ක්රියාවලියක අවසන් ප්රතිඵලය වන බවත් ප්රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා,
ජනතා නැගී සිටීම සුළුපටු නැහැ. එය බොහොම ප්රබලයි. ඒ් නිසා ජනතා නැගී සිටීම සහ ජනතා අභිලාෂ පිළිබඳ දේශපාලනඥයින් පමණක් නොව රාජ්ය නිලධාරීන්ටද යම් කිසි අවබෝධයක් තිබිය යුතුයි. ජනතාවට සුපිළිපන්න සේවාවක් ලබා දීමට රාජ්ය සේවකයින් ලෙස අප බැඳී සිටිනවා. ඒ් නිසා ජනතාවට ලබා දෙන රාජ්ය සේවය සුපිළිපන්න කිරීම සඳහා කිසියම් ආකාරයක වැඩසටහනක් ක්රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ් ඔස්සේ තමයි අපි අභ්යන්තර කටයුතු ඒකක පිහිටවනු ලැබුවේ.
රාජ්ය නිලධාරීන් තම රාජකාරි ඉටු කරන අතරතුර ඔවුන්ගේ සුපිළිපන්නභාවය වර්ධනය කර ගැනීමට සැලකිලිමත් විය යුතු අතර, එමඟින් රාජ්ය අංශයේ දූෂණ සංස්කෘතිය වෙනස් කළ හැකිය. අභ්යන්තර කටයුතු ඒකක, රාජ්ය සේවය තුළ සුපිළිපන්න සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ක්රමවේදයක් ලෙසත් රාජ්ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය විමසීමට ජනතාවට පහසුකම් සලසන වේදිකාවක් ලෙසත් සැලකිය හැකියි.
මෙහිදී ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්රමසිංහ සහ කැලණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ යන මහත්ම මහත්මීහු දේශන පවත්වනු ලැබූහ.