Tuesday, October 07, 2025
Follow Us
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වැටුප් විෂමතාවය පිළිබඳ ව ඉදිරියේ දී ක්‍රමානුකූල ව රජයක් වශයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනවා - අගමැතිනී

 

  • අධ්‍යාපන පද්ධතිය තුළ පවතින දුර්වලතා සහ අඩුපාඩු නොතකා, ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගෙන යන විශිෂ්ට සේවය රටටම අභිමානයක්.

අධ්‍යාපන පද්ධතිය තුළ පවතින දුර්වලතා සහ අඩුපාඩු නොතකා, මෙරට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගෙන යන විශිෂ්ට සේවය රටටම අභිමානයක් බවත්, දෙමාපියන්ගේ කැපවීම හා සමාන වගකීමක් භාරගෙන, දරුවන් දැනුමෙන් පිරුණු, ගුණයෙන් සම්පූර්ණ වූ, නැණවත් වූ සහ සමාජයට වටින පුරවැසියන් බිහි කරන ගුරුවරුන්ට ලබා දිය හැකි උසස්ම ගෞරවය හා කෘතඥතාව පළ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළා ය. 

එතුමිය මේ අදහස් පළ කළේ ඔක්තෝබර් මස 5වෙනිදාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමී ව පවත්වන ‘ගුරු ප්‍රතිභා ප්‍රභා - 2025’ ගුරු විදුහල්පති ඇගයීම් උලෙළ අමතමිනි.

එහි දී වැඩිදුර‍ටත් අදහස් දැක් වූ අමාත්‍යතුමිය, අනාගතයේදී අධ්‍යාපන පද්ධතියේ ව්‍යුහය ශක්තිමත් කිරීමට, තරකානුකූල විෂයමාලා හඳුන්වා දීමට සහ ගුරුවරුන් නියෝජනය කරන මානව සම්පත දියුණු කිරීමට රජය විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත්, පාසල් තුළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අවශ්‍ය වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලාංකේය පාසල් අධ්‍යාපනයේ ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් දැයේ අනාගත සිසු පරපුර නැණවත් කරන්නට කැපවීමෙන් හා දිරියෙන් සිදුකළ සේවයට උපහාර දැක්වීමේ අරමුණින් ‘ඉගැන්වීම සාමුහික වෘත්තියක් ලෙස නව අරුතකින් හඳුනාගැනීම’ යන තේමාව ඔස්සේ මෙවරත් උත්කර්ශවත් ලෙස උපහාර උලෙළ පැවැත් වුනේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

2024 වර්ෂයේ පාසල්වල ක්‍රියාවලිය ඵලදායීව හැසිරවීමේදී පාසල් මට්ටමින් පැන නගින ගැටලු සහ අභියෝග ජය ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද විශිෂ්ට ව්‍යාවහාර පාදක කරගෙන සකස් කරන ලද නිර්ණායක ඔස්සේ මෙම ඇගයීම සිදු කරනු ලබයි. ‍

පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව පාසල් කාණ්ඩ තුනක් ඔස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසලේ නිල භූමිකාවේ නිත්‍ය රාජකාරිය ඉටු කිරීම ද විශේෂ අවධානයට ද ලක්කර පියවර තුනක් ඔස්සේ සිදු කළ ඇගයීමකින් අනතුරුව ක්‍රමවේද විශිෂ්ට ව්‍යවහාර, ඇගයුම් මණ්ඩලයක් මගින් තෝරාගෙන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය මඟින් අවසන් ජාතික මට්ටමේ ඇගයීම් මණ්ඩලය හරහා තෝරාගන්නා ලද ගුරු විදුහල්පතිවරු 173 දෙනෙකු ඇගයුම් ලැබීය.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ, අතිරේක ලේකම් අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන දුලානි සමරකෝන් ඇතුලු අතිරේක ලේකම්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.