Monday, August 11, 2025
Follow Us
තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායෙන් හදිසි දැනුම් දීමක්
නැගෙනහිර ආසියාතික රටවල රජයේ නිසි අවධානයකට ලක් නොවී ක්රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්යස්ථානයන් සඳහා තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින් නොමඟ යැවීමට ලක්කර විශාල වශයෙන් බඳවා ගැනීම් සිදුකරනු ලබන බවට තොරතුරු වාර්තා වී ඇත.

තොරතුරු වාර්තා වන ආකාරයට මේ වන විටත් මේ හා සම්බන්ධ අපරාධකරුවන් විසින් විවිධ රටවල් ඉලක්ක කර ගනිමින් 50000ක පමණ පිරිසක් බඳවා ගැනීමේ ප්රයත්නයක නිරත වී ඇති අතර, ශ්රී ලංකාව ද එම රටවල් අතර ප්රමුඛස්ථානයක් බවට පත්ව ඇති බවට ද වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත.

 
තව ද, මේ වන විටත් එවැනි සයිබර් අපරාධ මධ්යස්ථාන පහක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
 
මෙසේ ක්රියාත්මක වී ඇති මිනිස් වෙළෙඳාම්කරුවන් විසින් මේ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට විවිධ ක්රමවේදයන් භාවිතා කරනු ලබන අතර, ප්රධාන වශයෙන්ම ව්යාජ තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද රැකියා දැන්වීම් සමාජ මාධ්යයන් ඔස්සේ ප්රචාරණය කිරීම තුලින් විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින්ගේ අවධානය ලබා ගනු ලබයි.
 
පසුගිය සති කිහිපය තුලදී වාර්තා වී ඇති තොරතුරු මත මේ ආකාරයෙන් ශ්රී ලාංකිකයින් එකළොස් දෙනෙකු හසු වී ඇති බවත්, මේ වන විටත් ඔවුන් ඉහත සඳහන් කල වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්යස්ථාන වෙත යොදවා ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
 
එමෙන්ම, මෙරට තුල සිටින පුද්ගලයින්ට අමතරව ඩුබායි හී රැකියාවල නිරතව සිටින ශ්රී ලාංකිකයින් ද, මෙසේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් නොමඟ යවමින් ඉහත සඳහන් කල සයිබර් අපරාධ මධ්යස්ථානයන් හී රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත.
 
මෙම තත්ත්වය මත විශේෂයෙන්ම තායිලන්තය, මින්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරණය කරනු ලබන දැන්වීම් සඳහා ප්රතිචාර දැක්වීමේ දී විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන සියලු ශ්රී ලාංකිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
 
තව ද, එවැනි අවශ්යතාවයන් සඳහා නීත්යානුකූල ක්රමවේදයන් අනුගමනය කරන ලෙසත්, මෙවැනි තත්ත්වයන් පිළිබඳව සියලු පුරවැසියන් අවධානයෙන් සිටිය යුතු බවත්, එවැනි සැක සහිත අවස්ථා නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව නිසි අංශයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් තවදුරටත් ඉල්ලා සිටී.