ජනතා අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල ලබා දී මෙරට ද්විතීයික හා තෘතීයික රෝහල් පද්ධතිය නඟාසිටුවීම ජාතික සෞඛ්‍ය සැලැස්මට අනුව කරන බවත් එහිදී අමාත්‍යාංශය මුහුණ දෙන බරපතළම ගැටලුව සෞඛ්‍ය සේවක හිඟය බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
නිර්නායක අනුව මෙරට සෞඛ්‍ය සේවය ආසියානු රටවල් අතර ඉදිරියෙන් සිටිය ද සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ අපේ නිර්ණායක වසර 15-20ක කාලයක පටන් එක තැන නතර වී තිබෙන බවත් ඉන් ඔබ්බට සෞඛ්‍ය සේවය රැගෙන යායුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
පේරාදෙණිය ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පසුගියදා (08)මේ අදහස් ප්‍රකාශ කළේය. කොළඹ ජාතික රෝහලේ හා මහනුවර ජාතික රෝහලේ වෙනම ප්ලාස්ටික් සැත්කම් ඒකක මෙතෙක් ක්‍රියාත්මක වූ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී විවෘත වූයේ මෙරට තුන්වන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය වීම විශේෂත්වයකි. ඒ සඳහා අවශ්‍යය උපකරණ ඇතුළු සියලු පහසුකම් නීතිඥ නන්ද සේනානායක මහතා විසින් ලබා දී තිබිණි.
එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවැසීය. මෙරට ද්විතීයික හා තෘතියික රෝහල් පද්ධතිය 130කට ආසන්නයි. එම රෝහල් ඔස්සේ ලබාදෙන සේවා පුළුල් කිරීමට මූලිකත්වය දෙනවා. මේ රටේ ජනතාව අපට ආණ්ඩුවක් හදාගන්න, ජනාධිපතිවරයෙක් පත්කර ගන්න බලයක් ලබා දුන්නේ මේ රටට හොඳ ශක්තිමත් පදනමක් හදාගන්නයි. ජනතාව ලබා දුන් අවුරුදු පහක කාලයේ අපේ වගකීම වන්නේ මේ රටේ සියලු දෙනාටම ප්රශස්ත සෞඛ්‍ය සේවයක් ලබාගත හැකි මට්ටමට සෞඛ්‍ය ක්ෂේත්රය ගොඩනැඟීමයි.
සෞඛ්‍ය නිර්ණායකවලින් අපි ආසියානු රටවල් අතර ඉදිරියෙන් ඉන්නවා. නමුත් අපි මීට කාලයකට කලින් ගහපු ඉන්ධනවලින් තමයි තාම දුවන්නේ. අපේ නිර්ණායක දැන් අවුරුදු 15ක 20ක කාලයක් තිස්සේ එකතැන නතර වෙලා. මෙතැනින් එහාට සෞඛ්‍ය සේවය ඉදිරියට අරගෙන යන්න ඕනෑ. ඒ සඳහා ආවට ගියාට වැඩ කරලා හරියන්නේ නැහැ. ඒ සඳහා සෞඛ්‍යයට අදාළ අනාගත ඉලක්ක සහ අභියෝග සම්බන්ධව පැහැදිලි සැලැස්මක් ගොඩනඟන්න අවශ්‍යයි. අමාත්‍යාංශ නිලධාරීන් සමඟ එකතු වෙලා මේ සඳහා පදනම සකස් කිරීම දේශපාලන අධිකාරියේ කාර්යභාරයයි. ඒක දැන් අපි කරමින් ඉන්නවා. අපේ අංක එකේ පරමාර්ථය තමයි රටේ තිබෙන තෘතීයික සහ ද්විතීයික රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීමයි. ඒ සඳහා රෝහල් පද්ධතියට අවශ්‍යය මූලික පහසුකම් ලබාදිය යුතුයි.
ද්විතීයික හා තෘතීයික රෝහල් පද්ධතිය ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගෙන දියුණු කළ යුත්තේ ජාතික සෞඛ්‍ය සැලැස්ම අනුව මිස දේශපාලන අවශ්‍යතා මත නොවෙයි. රෝහල් සේවා පුළුල් කිරීමේ දී මුහුණ දෙන ප්‍රධාන අභියෝගය කාර්ය මණ්ඩල හිඟයයි. අද ප්ලාස්ටික් සැත්කම් ඒකකය විවෘත කළත් මේ අංශයේ විශේෂඥ වෛද්‍යවරු ලංකාවටම ඉන්නේ අට දෙනයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් රටේ තිබෙනවා. මේ තත්ත්වයෙන් සෞඛ්‍ය පවත්වාගෙනයන්න විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් පමණ අවශ්‍යයි. දැන් ඉන්නේ 2000කට ආසන්න පිරිසක් පමණයි. වෛද්‍යවරු 20000ක් පමණ සිටිය යුතු වුවත් අපේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේ වෛද්‍යවරුන් 17000ක පමණ පිරිසකගෙන්. ගොඩක් අය පසුගිය කාලයේ රට හැරගියා. විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු පමණක් නොව හෙද කාර්ය මණ්ඩල හා සෞඛ්‍ය කාර්ය සහායකයන් ඇතුළු හැමදෙනාගේම හිඟයක් පවතිනවා. ලක්ෂ 1 1/2ක පමණ පිරිසෙන් තමයි අපි මේ සේවාව දැන් කරගෙන යන්නේ. රටේ සෞඛ්‍ය සේවය මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න රටේ රැඳිලා ඉන්න අයට විශේෂ ස්තූතියක් පුද කළ යුතුයි. රැකියාවක් රාජකාරියක් ලෙස නොව එතැනින් එහාට ගොස් මහජන සේවයක් ලෙස සිතා මේ පිරිස කටයුතු කරන නිසා තමයි මේ මට්ටමින් හෝ සෞඛ්‍ය සේවාව පවතින්නේ. ඒක අපි ඉහළින්ම අගය කරනවා.
සැලසුම් හදමින්, කැපවීමී කරමින් මේ යන ගමනත් එක්ක දැන් මේ රටේ පරිත්‍යාගශීලීන් ද එකතු වෙමින් සිටිනවා. ඔවුන් තමන් පුළුවන් විදියට උදව් කරන්න පටන්ගෙන තිබෙනවා. මේ ඒකකය ඊට හොඳම උදාහරණයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය,රෝහල් පරිපාලනය ඇතුළු හැමෝම එක්ක එකතු වෙලා වැඩ කරමු. මාස 2 1/2කින් සියල්ල කණපිට ගහන්න බැහැ. සමාජ මාධ්‍යවල කියනවා වගේ උරුලෑවෝ ගිය පාරක් තමයි අපට ක්ලියර් කරගෙන යන්න වෙලා තියෙන්නේ. අපි අපේක්ෂා කරන මට්ටමට මේ රට ගොඩනඟන්න පුළුවන්. රට හැර ගොස් සිටින අයට මම නැවත එන්න කියා ආරාධනා කරනවා. ඔබට අධ්‍යාපනය ලබන්න,පුහුණුවට,වැටුප් ගෙවීමට මේ රටේ ජනතාව මුදල් වැය කර තිබෙනවා. ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවයක් සපයන රටක් බවට අපේ රට පත් කළ හැකියි.”
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හසංක විජේමුණි, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න නීතිඥ නන්ද සේනානායක, ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අමල් සිරිවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.