Tuesday, February 17, 2026
Follow Us
කොළඹ වරායේ නැගෙනහිර මෙහෙයුම් ඉදිරි තුන් මස තුළ ඇරඹේ

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (East Container Terminal (ECT) පළමු අදියරෙහි මෙහෙයුම් ඉදිරි මාස තුන ඇතුළත ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ත්‍රෛපාර්ශ්වික ව්‍යාපෘතියක් වන මෙහි වැඩකටයුතු 2020 මාර්තු වන විට ආරම්භ කිරීමට නියමිතව තිබුණද, ඊට අදාළ සහයෝගිතා ගිවිසුමේ (MOC) පැහැදිලි බව සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සහ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව කල් දමා ඇති බැවින් එහි කටයුතු මෙතෙක් ආරම්භ වී නොමැත.

‘‘කෙසේ වෙතත් වසර දෙකේ සිට තුන දක්වා කාලයක් ඇතුළත ව්‍යාපෘතිය නිම කිරීමට අපට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. මේ මොහොතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පර්යන්තයේ පළමු අදියරෙහි ඉතිරි 60% වැඩ නිම කරනු ඇති අතර එමගින් ඉදිරි මාසවලදී මෙම කොටස භාවිතයට ගත හැකිය.’’ යැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) ආර්. එම්. දයා රත්නායක පැවසීය. සභාපතිවරයාට අනුව ව්‍යාපෘතියේ පළමු අදියරෙහි මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දොඹකර සහ වෙනත් අංගණ යන්ත්‍ර ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලබා ගනු ඇත.

ව්‍යාපෘතියේ පළමු අදියරෙහි ව්‍යූහාත්මක කටයුතු වෙනුවෙන් 2015 මැයි මාසයේදී ඩොලර් මිලියන 80 ක් වටිනා ණයක් ලංකා බැංකුවෙන් ලබාගෙන ඇත.

(Aruna)