Friday, November 22, 2024
Follow Us
ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ

තරුණයන් පහසුවෙන්ම සොයා ගත්තේ ත්‍රීවිල් රස්සාවය


Covid - 19 වසංගතයට රට Lockdown වූ දිනවල නගර ආශ්‍රිතව දක්නට ලැබුණු සුලභ දසුනක් වූයේ හයර් නැති ත්‍රිරෝද රථ රියැදුරන්ය. ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ පහළොවකට වැඩි සංඛ්‍යාවක් ඇති බවට අනුමාන කෙරේ. ත්‍රිරෝද රථ කුලියට පැදවීම ප්‍රධාන ස්වයං රැකියාවක් වී තිබේ. 2004 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව 260%කින් ඉහළ ගොස් ඇති අතර 2016 අවසන් වන විට ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව දස ලක්ෂ හැටදෙදහස් හාරසිය හතළිස් හතක් බව වාර්තා වී තිබේ. 2017 වසරේ කෙරෙණු සමීක්ෂණයට අනුව ත්‍රිරෝද රථ පැදවීමට වැඩිපුර පෙලඹෙන්නේ වයස අවුරුදු 35ට අඩු, අධ්‍යාපන මට්ටමෙන් අඩු පිරිමින්ය. බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් විධිමත් වෘත්තීය හෝ කාර්මික පුහුණුවකින් තොර, ‘‘නුපුහුණු’’ කම්කරු කාණ්ඩයට අයත් වේ. ඔවුන් ත්‍රිරෝද පැදවීමට නැඹුරු වී ඇත්තේ වෙනත් ජීවනෝපාය උපාය මාර්ග අත්හදා නොබලාම නොවේ. එහෙත් කර්මාන්තශාලා සහ කඩ සාප්පුවල සහායකයන් ලෙස කටයුතු කිරීමෙන් අඩු වැටුප් මත වැඩි පැය ගණනක් වැඩ කිරීමට සිදුවූ බැවින් ත්‍රිරෝද රථ පදවා එදිනෙදා වියදම් පියවා ගැනීම පහසු වන බව ඔවුන්ගේ මතය වී තිබේ. ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවේ ගිලිහී යන තාරුණ්‍යයේ සංකේතයකි. එම රථය පදවන තරුණ පිරිමි ළමයා නියෝජනය කරන්නේ මෙරටේ වේගයෙන් ව්‍යාප්ත වන නුපුහුණු ශ්‍රම බලකායයි. වර්තමාන ධනවාදී ආර්ථික ව්‍යුහය තුළින් ‘‘පූර්ණ රැකියා නියුක්තිය’’ එනම් සෑම පුරවැසියකුටම සුරක්ෂිත රැකියාවක් සම්පාදනය කිරීමට නොහැකි බව 19 වන සියවසේදී කාල් මාක්ස්ද, 20 වන සියවසේදී ජෝන් මේනාඩ් කීන්ස්ද පෙන්වා දී ඇත. මෙම තත්ත්වය 21 වන සියවසේ ගෝලීයකරණය සිය නවලිබරල්වාදී සන්දර්භය තුළ සෑම රටකම උත්සන්න වී ඇත.

කොවිඩ් - 19 වසංගතයට මුහුණ දීමේදී අපට වැටහෙන එක් දෙයක් වනුයේ ‘‘අත්‍යවශ්‍ය සේවකයන්’’ ලෙස සැලකෙන කිසිදු වෘත්තියක් වර්තමාන ආර්ථික ව්‍යුහය තුළින් නිෂ්පාදනය නොවුණු බවයි. මෑතකදී යුරෝපයේ පැවැත්වුණු සමීක්ෂණයකින් හෙළි වන්නේ කිසිදු රටක ‘‘හෙජ් අරමුදල් කළමනාකරු’’ (Hedge Fund Manager) සහ ‘‘බහු ජාතික බදු උපදේශක’’ (Multinational tax consultaut) වැනි නවලිබරල් ආර්ථිකයෙන් උත්පාදනය වූ රැකියා ‘‘අත්‍යවශ්‍ය සේවකයන්’‘ ගේ ලැයිස්තුවේ නොමැති බයි. එමෙන්ම 2018 කෙරුණු පර්යේෂණයකින් හෙළි වන්නේ ගෝලීයකරණයට ලක්වුණු, මූල්‍යකරණය පාදක කොට ගොඩනැගුණු නව ලිබරල් ආර්ථික තුළින් උත්පාදනය වී ඇත්තේ සමාජයීය වශයෙන් අර්ථ විරහිත රැකියා (Socially Pointless jobs) අතළොස්සක් පමණක් බවයි. එම සමීක්ෂණයට සහභාගි වූ බහුතරයක් ප්‍රකාශ කළේ මූල්‍ය සහ අලෙවිකරණ අංශවල තමන්ගේ රැකියා ‘‘වගතුවක් නැති ගොන් වැඩ’’ බවයි. වර්තමාන ආර්ථික මොඩලය රැකියා සුරක්ෂිතභාවය අර්ථවත් රැකියා සම්පාදනය සහ පූර්ණ රැකියා නියුක්තිය තහවුරු කිරීමට අසමත් වූවා නම් කෝටි සංඛ්‍යාත වැඩ කරන ජනතාව ජීවනෝපාය උපායමාර්ග ලෙස කුමක් කරන්නේද? තම ගෙදරදොර ආර්ථිකය ගෙන යෑම සඳහා පවතින විකල්ප මොනවාද?

ශ්‍රී ලංකාව වැනි සංවර්ධන වෙමින් පවතින බොහෝ රටවල ජීවනෝපාය මාර්ග කාණ්ඩ 4කට බෙදිය හැකිය.

පළමු කාණ්ඩය වන්නේ සංක්‍රමණික සේවකයන් උපයන වැටුපයි. මෙහි සංක්‍රමණික සේවකයන් වශයෙන් හැඳින්විය හැක්කේ රට තුළ සහ රටින් පිට ගොස් ​සේවයේ යෙදී වැටුප තම පවුලේ සාමාජිකයන්ට ලබා දෙන කොටසයි. ශ්‍රී ලංකාවෙන් පිටරට රැකියා බලා පිටත්ව ඇති සංඛ්‍යාව ලක්ෂ විස්සකට ආසන්න වේ. මෙම සේවකයන්ගෙන් බහුතරයක් මැදපෙරදිග රටලට සංක්‍රමණය වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් ‘‘නුපුහුණු’’ (Unskilled) ශ්‍රමිකයන්ය. මේ අය අතරින් රජයේ ලියාපදිංචි වූ ඒජන්සි මගින් පිටරටවලට සංක්‍රමණය වන අයට අවම වශයෙන් රු. 60,000ක මාසික වැටුපක් ලැබීමට නියම කර ඇතත් දළ වැටුප රු. 50,000ත් 55,000ත් අතර අගයක් වන බව වාර්තා වේ. රජයේ ලියාපදිංචි නොවූ හොර ඒජන්සි මාර්ගයෙන් විදේශකගත වන ශ්‍රමිකයන්ගේ වැටුප කුමක්ද යන්න වාර්තා නොවුණත් එය රු. 50,000 වඩා අඩු විය හැකි බවට උපකල්පනය කළ හැකිය. එය එසේ වීමට හේතුව විය හැක්කේ ශ්‍රමික කළු වෙළෙඳපොළ තුළ ශ්‍රමිකයාගේ කේවල් කිරීමේ බලය අවම නිසාය. විදේශගත වන සංක්‍රමිණක සේවකයන් මෙන්ම රැකියා සඳහා රට තුළ සංක්‍රමණය වන පිරිසද ඉතා විශාලය. ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් ලකෂ 40 පිරිසක් රැකියාවට කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට සංක්‍රමණය වෙති. මෙම ශ්‍රමික කාණ්ඩය නිෂ්පාදන කර්මාන්ත හෙවත් ගාමන්ට්, ඉදිකිරීම් වැනි දෙයෙහි කම්කරුවන් වශයෙන් රැකියා කිරීමට නගර කරා ඇදී එයි.

ගෘහ සේවිකාවන්, මධ්‍යම සහ ඉහළ පන්තියේ පුද්ගලයන්ගේ වාහන පැදවීමට ගමෙන් එන රියැදුරන් සහ කුලී වැඩ කිරීමට පැමිණෙන පුද්ගලයන්ද ‘‘අභ්‍යන්තර සංක්‍රමණික සේවකයන්’’ (Internal Migraut Workers) කාණ්ඩයට ඇතුළත් කළ හැකිය. මෙම කණ්ඩායමට අයත් නව ප්‍රවණතාවක් වන්නේ වතුකරයේ වෙසෙන තරුණ තරුණියන් keels, Food city යන සු​පර් මාකට්වල රැකියාවට නගරයට පැමිණීමයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පරිධියේ රැකියාවල නිරතවන දෙවන කාණ්ඩය වන්නේ කෘෂිකර්මාන්තය, වෙනත් නිෂ්පාදන හෝ සුළු වෙළෙඳාම් ස්වයං රැකියා වශයෙන් කරන පිරිසයි. සුළු පරිමාණ ගොවීන් සහ ධීවරයන්, කාර්ය බහුල හන්දියවල තේ කඩ, කඩල කරත්ත සහ වෙනත් පිසුණු ආහාර විකුණන අය, ඇඳුම් මැසීම, සපත්තු අලුත්වැඩියා කරන පුද්ගලයන්, විවිධ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය පිළියෙළ කරන අය සහ මාකට්වල සුළු පරිමාණයේ වෙළෙඳාම් කරන අය ඇතුළු අනෙකුත් ස්වයං රැකියාවල නිරත වන ශ්‍ර්‍රමිකයන් මෙම කණ්ඩායමට ඇතුළත් කළ හැකිය.

නවලිබරල්වාදයේ එක්තරා කපටි උපකල්පනයක් වන්නේ මෙම ශ්‍රමිකයන් කාණ්ඩය ‘‘ව්‍යවසායකයන්’’ ලෙස අර්ථ දැක්වීමයි. ‘‘ව්‍යවසායකයා’’ යනු තමන්ගේ නිර්මාණශීලී අදහස් උපයෝගී කොට ගෙන පරිවර්තනීය වෙනසක් සහ නවෝත්පාදනයක් රටට සහ ලොවට හඳුන්වා දෙන අති දක්ෂ පුද්ගලයන්ය. ශ්‍රී ලංකාවේ මෑත අතීතයේ සහ වර්තමානයේ මෙවැනි ව්‍යසායකයන් ලෙස අප මතකයට නැගෙන්නේ නවලෝක මුදලාලි, දාස මුදලාලි, උපාලි විජේගුණවර්ධන සහ ධම්මික පෙරේරා වැනි පුද්ගලයන්ය.

එහෙත් ශ්‍රී ලංකාවේ පරිධියේ සිටින ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයන් අතරින් තවත් නවලෝක මුදලාලි කෙනෙක් බිහි වන්නේ බොහෝ කලාතුරකින්ය. එවැනි දුර්ලභ පුද්ගලයන් මෙම ස්වයං රැකියා කාණ්ඩයේ සිටින්නට හැකි වුවද, මෙම කාණ්ඩයේ බහුතරයකට ස්වයං රැකියාව යනු දීප්තිමත් ව්‍යාපාරික අදහසක් සාක්ෂාත් කර ගැනීම සඳහා වූවක් නොව එය තම දෛනික පැවැත්මට සහාය වන ජීවනෝපාය උපාය මාර්ගයකි. මෙවැනි ස්වයං රැකියා අඩු තාක්ෂණයක් සහ ඉතා අඩු ප්‍රාග්ධනයක් යොදවා, කුඩා වෙළෙඳපොළක් ඉලක්ක කරගත් ව්‍යාපාරයන්ය. මෙම ශ්‍රමිකයන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා බහුතරයකගේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවද ඉතා පහළ මට්ටමක තිබේ. ඇතැම් වැන්දඹු කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයන්ට ඇති එකම ජීවනෝපාය විකල්පයද මෙය වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පරිධියේ සිටින වැඩකරන ජනතාව, නිරත වන තෙවැනි ජීවනෝපාය උපාය මාර්ග අයත් වන්නේ ස්ථිර වැටු​පක් නැති කුලී ශ්‍රමයෙන් මුදල් ඉපයීමයි. කෘෂිකාර්මික සහ ධීවර කර්මාන්තවල ශ්‍රමිකයන්, කර්මාන්තශාලා සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වන්නන්, ගෙයින් ගෙට ගොස් විවිධ භාණ්ඩ සහ සේවා අලෙවි කරන්නන් මෙම කාණ්ඩයට ඇතුළත් කළ හැකිය. කොන්ත්‍රාත් ක්‍රමයට මෑන් පවර් (Manpower) ඒජන්සි මාර්ගයෙන් දවසේ වැඩ කුලිය සොයන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන්ද මෙම කාණ්ඩය තුළ සිටිති. වැටුප් ශ්‍රමිකයන්ගේ රැකියාවල විවිධ ස්වරූප ඇතත් ඒ සියල්ල අවිධිමත් ආර්ථිකය තුළ ක්‍රියාත්මක වේ. පළමුවැනි කාණ්ඩයට අයත් සංක්‍රමණික ශ්‍රමිකයන්ද මෙම ‘‘කුලී ශ්‍රම’’ කාණ්ඩය තුළ සිටිති.

Covid - 19 වැනි කම්පන සහගත සංසිද්ධි හේතුවෙන් මෙම ශ්‍රමික කාණ්ඩයට ක්ෂණික සහ ඉතා දරුණු පහරක් එල්ල වි ඇත. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේදී ඇති වන එක් ගැටලුවක් වන්නේ මෙම ශ්‍රම කණ්ඩායම ප්‍රසාරණය වීමයි. දේශීය ආර්ථිකය පහත වැටීමත් සමග මෙම විශාල ශ්‍රම කණ්ඩායමට තම ශ්‍රමය විකුණා එදිනෙදා මුදල් ඉපයීමේ අවස්ථා අහිමි වේ.

ශ්‍රී ලංකාවේ පරිධියේ නියෝජනය කරන කෝටි සංඛ්‍යාත ජනතාවගේ සිව් වන ජීවනෝපය උපාය මාර්ගය වන්නේ ණය යැපීමයි. මෙයින් අදහස් කරන්නේ මේ රටේ සැලකිය යුතු පුද්ගලයන් සංඛ්‍යාවක් ණය පමණක් භාවිත කරමින් ජීවත් වන බව නොවේ.

ණය යනු ගෘහස්ථ ආර්ථිකයේ ‘‘රෝල’ ගෙන යාමට අවශ්‍ය ආදායම් මාර්ගයකි. විධිමත් සහ අවිධිමත් අංශ දෙකෙන්ම පරිභෝජනය සඳහා ණය ලබා ගැනීමට හැකි වේ. ස්වයං රැකියාවල නිරතවන පුද්ගලයන් ක්ෂුද්‍රමූල්‍ය ණය (Microfinance loans) ලබා ගන්නේ තම ව්‍යාපාරය ගොඩනැගීමට සහ පෞද්ගලික පරිභෝජනය යන කාරණා දෙකටම බව විවිධ සමීක්ෂණවලින් වාර්තා වී ඇත. අවිධිමත් අංශයේ ණය ගැනීම සාමාන්‍ය සිරිතක් වන අතර ඒ සඳහා වර්තමානයේ විවිධ තරාතිරම්වල සහ ක්ෂේත්‍රවල පොලී මුදලාලිවරු නානාවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වෙති. කුලී ශ්‍රමිකයන් බහුතරයක් අද රැකියාව කරන්නේ ඊයේ ණය ගෙවීමටයි. එයින් අදහස් වන්නේ ඔවුනට කවරදාකවත් ආදායමක් නොලැබෙන බවයි. එනම් ඔවුන් අද සහ හෙට උපයන සියලු වැටුප් තම ණය වශයෙන් කපා හරින නිසාවෙනි.

මෙතෙක් සඳහන් කළ ජීවනෝපාය උපාය මාර්ග සැබෑ ‘විකල්ප’ ලෙස සැලකිය නොහැකිය. මේවා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය, අර්ධ නාගරික සහ නාගරික ප්‍රදේශවල ආර්ථිකයේ පරිධියේ සිටින පුද්ගලයන්ට ගත හැකි සීමිත ජීවනෝපාය උපාය මාර්ග වේ. මේ රටේ ආර්ථිකයේ පරිධියෙන් එක් නියැදියක් ගත හොත් අපට පෙනෙන්නේ බහුතරයක් මෙම ජීවනෝපාය උපාය මාර්ග සියල්ලම තම ජීවිත කාලය තුළ යොදා ඇති බවයි. මෙම ජීවනෝපාය විසින් ක්‍රියාත්මක වන්නේ දේශීය සහ ගෝලීය මානයන් තුළ පැවතෙන පුළුල් දේශපාලන ආර්ථිකයක් තුළය. මෙම ජීවනෝපාය මාර්ග බොහෝමයක් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් වර්ග කර ඇති Dirty - Dangerous - Demeaning (3‍D) යන සමාජ පිළිගැනීමකින් තොර රැකියා සහ ජීවනෝපාය මාර්ග ගණයට ඇතුළත් කළ හැකිය. මෙලෙස වීමට හේතු සෙවීමේදී ප්‍රධාන කරුණු කීපයක් මතු වේ.

මේවාට ප්‍රධාන සාධකයක් වන්නේ ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීමයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75%කට වැඩි ප්‍රතිශතයක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. මෙරටේ ශ්‍රම බළකායෙන් 27% පමණ රැකියාවල නිරත වන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතවය. කෘෂි කර්මාන්තය දියුණු නොකිරීම සහ එම ක්ෂේත්‍රයට ආණ්ඩු මගින් සැලසුම් සහගත ආකාරයක අනුග්‍රහයක් නොදැක්වීම ග්‍රාමීය ආර්ථිකය කඩා වැටීමට ප්‍රබල සාධකයක් වේ.

එමෙන්ම ලෝක බැංකුව ඇතුළු නවලිබරල්වාදී ආයතන ප්‍රවර්ධනය කරමින් පවතින ‘‘නාගරීකරණ උමතුව’’ ශ්‍රී ලංකාවේ යම් දේශපාලනඥයන්ද වැලඳගෙන එමගින් ග්‍රාමීය ආර්ථිකය නොසලකා හැරීම මෙයට සම්බන්ධ තවත් කාරණයකි. දැනට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාගරික කේන්ද්‍රස්ථාන (Urban Hubs) පහක් මුල් කොට ගෙන නිර්මාණය වූ ආකෘතියට අනුව ග්‍රාමීය පළාත්වල ජීවත් වන ජනතාව සඳහා රැකියා උත්පාදනය වන්නේ නගර ආශ්‍රිත සේවා සහ අර්ධ නාගරික ආර්ථික කලාප (Economic Zones) තුළය. මෙම ආකෘතිය ශ්‍රී ලංකාවේ පමණක් නොව මැලේසියාව, ඉන්දුනීසියාව, වැනි රටවලද ක්‍රියාත්මක වන්නකි. ග්‍රාමීය ආර්ථිකයේ පහත වැටීමක් සමග තම ඉඩකඩම් විකුණා ජනතාව නගරයට ඇදී ආ යුතු බව මෙම සැලැස්මේ මූලික අරමුණයි. එසේ නාගරීකරණය වන විට ග්‍රාමීය ඉඩම් බැංකුවකට දමා (Land Bank) සින්නක්කර විකිණීමට හැකි වන සේ නීති සම්පාදනය කිරීමටද MCC වැනි ජාත්‍යන්තර ගිවිසුම් තුළින් උත්සාහයක් දැරුවේය.

කෘෂි කර්මාන්තය සහ ග්‍රාමීය ආර්ථිකය කඩා වැටීමට බලපාන තවත් සාධක වේ. මිනිසුන්ට පාලනය කළ නොහැකි පරිසරය සම්බන්ධ ගැටලු මෙයට අර්ධ වශයෙන් හේතු වේ. ඉඩම් අහිමි වීම සහ වෙනත් අයගේ ඉඩම් අස්වැද්දීමෙන් ආදායමක් උපයා ගන්නා ජන කොටස විශාල වී තිබේ. මෙම ඉඩම අහිමි ග්‍රාමීය ජන කොට්ඨාසය දේශාපලන අර්ථශාස්ත්‍රයේ හඳුන්වන්නේ ‘අතිරික්ත ජනගහනයක්’ (Surplus Population) ලෙසින්ය. මෙම ජනගහනයෙන් ​බහුතරයක් ජීවත් වන්නේ අර්ධ යැපුම් (Subsistence) පදනමක් මතය. ජනගහන වර්ධනයත් සමග ඉඩම්වල ප්‍රමාණය එන්න එන්නම කුඩා වේ. ඉඩමේ භූමි ප්‍රමාණය කුඩා වන විට එය වාණිජ කටයුතු සඳහා ඵලදායී ලෙස භාවිත කිරීම අසීරු වන අතර එයින් ලැබෙන ආදායමද පහත වැටේ.

ග්‍රාමීය ආර්ථිකය පිරිහීමට බලපාන තවත් සාධකයක් වනුයේ ගොවීන්ට වෙළෙඳපොළට තමන්ගේ භාණ්ඩය රැගෙන කෙළින්ම එන්නට නොහැකි වීමයි. මෙනිසා අතරමැදියන් ප්‍රබල වී ඇති අතර ගොවීන්ට ලැබෙන ආදායම එන්න එන්නම පහත වැටී ඇත. කෘෂිකර්මාන්තය කාලගුණික තත්ත්වයන් සහ අවිනිශ්චිතභාවයෙන් පිරුණු අවදානම් ජීවනෝපාය මාර්ගයක් වුවද, ග්‍රාමීය ප්‍රදේශවල වෙනත් රැකියා සඳහා ඇති ඉඩකඩ සීමිතය. ග්‍රාමීය ආර්ථිකය මගින් ශ්‍රම බළකාය ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාව අඩු නිසා ග්‍රාමීය තරුණ තරුණියන් නගරවල රැකියාවට ඇදී එති. ගම්වලින් නගරයට පැමිණෙන තරුණ තරුණියන් අඩු වැටුපට නාගරික ව්‍යාපාර සහ කර්මාන්තවල සේවය කරති. මෑතක සිට ග්‍රාමීය තරුණ තරුණියන් කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි උනන්දුක් නොදක්වති. මෙයට හේතුව ගොවිතැනෙන් සුළු ආදායමක් නොලැබීම පමණක් නොවේ. ගෝලීයකරණයත් සමග ඇති වූ සමාජ, ආර්ථික සහ සංස්කෘතික වෙනස්කම් නිසා ග්‍රාමීය ආර්ථිකය සහ ගම කෙරෙහි ඇති ඇල්ම සහ උනන්දුව අඩු වී ඇති බවක් පෙනේ.

2012 වසරේ කරන ලද පර්‌යේෂණයකින් හෙළි වන්නේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රාථමික හා ද්විතීයික මට්ටම්වල පාසල් විෂය මාලාවේ කෘෂිකර්මය යන විෂය හෝ එහි වැදගත්කම අවධාරණය නොකරන නිසා කෘෂිකර්මාන්තය සහ ඒ හා සම්බන්ධ ගම යන සංකල්පය කෙරෙහි කුඩා කල සිටම ළමුන් තුළ උනන්දුවක් නැති බවයි. ගම් සහ නගරවල උග්‍ර ලෙස ව්‍යාප්ත වන පාරිභෝගිකවාදී සංස්කෘතිය ගෘහස්ත ආර්ථිකය කඩා වැටීමට තවත් හේතුවක් වී ඇත.

නවලිබරල්වාදී ගෝලීයකරණයේ එක් ලක්ෂණයක් වන්නේ වැඩියෙන් භාණ්ඩ විකුණා ගැනීම සඳහා ඇති අවශ්‍යතාව වැඩි කිරීමයි. මෙහිදී අවශ්‍යතා සහ වුවමනා දෙකක් නොව එකක් බව අලෙවිකරණ සංස්කෘතිය මගින් (Marketting Culture) ජනතාව පොලඹවයි. මෙම සංස්කෘතිය සහ එයට අනුගත වී ඇති Facebook වැනි සමාජජාලා වෙබ් අඩවි තුළින් එක්තරා ජීවන රටාවක් ප්‍රවර්ධනය කරයි. තමන් කෑමට ගන්නා ආහාර වර්ග, මොන බීම වර්ග, අඳින Branded ඇඳුම් සහ භාවිත කරන නොයෙකුත් උපකරණ සහ වාහනලින් තමන්ට සමාජයේ වටිනාකමක් ලැබෙන බව බහුතරයකගේ විශ්වාසයයි. එම ජීවන රටාව නියෝජනය කරන්නේ නගරය සහ ලෝකයයි. එහෙත් මෙය නඩත්තු කිරීමේදී වියදම් අතිශයින් ඇත.

එම වියදම් උපයාගත් මුදල්වලින් හෝ ණයට ගත් මුදල්වලින් පියවීමට තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් පෙලඹී ඇත. මෙම හේතූන් නිසා විධිමත් හෝ අවිධිමත් අංශවලින් ලබා ගන්නා ණය තම අයවැය රෝල් කරන යාන්ත්‍රණයේ වැදගත් කොටසක් බවට පත්වී තිබේ.

එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පරිධිය නියෝජනය කරන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය උපාය මාර්ග කෙමෙන් අවහිර වන බවක් පෙනේ. විවිධ රටවල් විසින් සම්පාදනය කර ඇති දැඩි සංක්‍රමණ ප්‍රතිපත්ති හේතුවෙන් පිටරට රැකියා සඳහා යෑමට අසීරු වී ඇත. රට අභ්‍යන්තරයේ සංක්‍රමණික ශ්‍රමිකයන්ටද රැකියාවන් සොයා ගැනීම දුෂ්කර වී ඇත. මෙයට හේතුවන්නේ නාගරික ප්‍රදේශවල කර්මාන්ත සහ සේවා අංශ මගින් ග්‍රාමීය ශ්‍රමය තවත් අවශෝෂණය කිරීමට තරම් එම අංශ වර්ධනය නොවීමයි. විධිමත් හෝ අවිධිමත් අංශ තුළින් ණය ලබා ගැනීමේ හැකියාවද අඩුවී ඇති අතර ණය ගැනීමට ඇති අධික ඉල්ලුම හේතුවෙන් ණය ගන්නා පුද්ගලයන් අධික සූරාකෑමට ලක්වී ඇති බව විවිධ සමීක්ෂණ මගින් හෙළිවී තිබේ. මේ දිනවල ජනමාධ්‍යවල පෙන්වන මැද පෙරදිග රටවල රාජ්‍යයන් විසින් විසි කරන ලද ශ්‍රී ලංකාවේ මානව සම්පත රැක ගැනීම සහ ඔවුනගේ ජීවනෝපාය සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න වර්තමානයේ අප හමුවේ ඇති බරපතළම අභියෝගයයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පරිධියේ රැකියාවන්වල නිරත වන ජන කොටස් හුදෙක් ආර්ථිකයේ පරිධියේ පමණක් සිටින පුද්ගලයන් නොවේ. ඒ අය සමාජයේ පරිධියද වේ. දේශපාලන ව්‍යුහයේ දරුණු ලෙස කොන්වී පරිධියේ සිටින්නේ ඔවුන්ය.

ඔවුන්ව ශක්තිමත් කිරීම සඳහා මෙම මාන 3න්ම ආමන්ත්‍රණය කළ යුතු වුත්, ඔවුන් ආර්ථික වශයෙන් දුර්වල වන තාක් ඔවුන් හට සමාජ පිළිගැනීම නොලැබෙනු ඇත. දේශපාලන ක්‍රියාවලියේ ප්‍රබල හවුල්කරුවන් ද විය නොහැකිය.

එම නිසා ඔවුන්ගේ ගෘහස්ථ ආර්ථිකය වැටී ඇති අගාධයෙන් එළියට ගැනීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවක් විය යුතුය.

එයට ආරම්භය කොතනද? මෙතැනදී පවතින ආර්ථික ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව අප සිතිය යුතුය.

ගම මුල් කරගත් ආර්ථික ව්‍යුහයක් ප්‍රථමයෙන් බලගැන්විය යුතුය. මෙරටේ ගම් 35,000කට ආසන්නව තිබේ. සෑම ගමකම සම්පත් පැතිකඩක් (Resourece Profile) සාදා තම ගමේ තිබෙන මානව සහ ස්වාභාවික සම්පත් මොනවාදැයි ලේඛන ගත කොට එම දත්ත උ​පයෝගී කර ගනිමින් තම ප්‍ර්‍රදේශයට තිරසර ආර්ථික සැලැස්මක් නිර්මාණය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ගම්වාසීන් සහ රාජ්‍ය යාන්ත්‍රණය බලමුළු ගැන්වීම අවශ්‍ය වේ. මෙම ගම් 35,000 හේ සම්පත් පැතිකඩ අධ්‍යයනයකට ලක් කළහොත් පොදු ලක්ෂණ හතරක් මතුවනු ඇත. ඒ ශ්‍රී ලංකාව සතු මානව සම්පත, ජල සම්පත, මෙම දූපතේ ප්‍රමාණයට වඩා නව ගුණයකින් විශාල මහ මුහුද සහ වසර පුරා අපට ලැබෙන හිරු එළියයි. මෙම සම්පත් අශ්‍රිත ආරම්භ කළ හැකි කර්මාන්ත බොහෝය. ඒවායෙන් උත්පාදනය කළ හැකි රැකියාද බොහෝය. මෙම ගම් වශයෙන් නිර්මාණය කරන ආර්ථික සැලසුම් ගොනුකොට ජාතික සැලැස්මක් නිර්මාණය කළ හැක. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට සම්බන්ධ වන ආකාරයත්, විවිධ රටවල් සමග කරන ගනුදෙනුවල ස්වභාවයත් තීරණය කළ හැකිය. ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයකට ගෝලීය පරිපථයෙන් බැහැරව කටයුතු කළ නොහැකි වනු ඇත. එහෙත් අප එම ගෝලීය ක්‍රියාදාමයට සම්බන්ධ විය යුතු ආකාරය ගැන ස්වෛරී රටක් ලෙස තීරණ ගත යුතුය. එලෙස ගන්නා තීරණයේ කේන්ද්‍රීය සාධකය විය යුත්තේ ශ්‍රී ලංකාවේ පරිධිය හෙවත් ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවයි.

(Aruna)