Friday, November 14, 2025
Follow Us
ආයතන 200කට අධික සංඛ්‍යාවක් වසර 5ක් ඊ.පී.එෆ් ගෙවලා නෑ

වසර පහක කාලයක් තිස්සේ ආයතන දෙසීයකට අධික සංඛ්‍යාවක් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1200ක දායක මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින බව කම්කරු අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අර්ථසාධක අරමුදල් නීතියට අනුව වසරකට වඩා වැඩි කාලයක් දායක මුදල් නොගෙවා සිටියහොත් හිඟ මුදල මත 50% ක දඩයක්ද අයකරනු ලබයි. ඒ අනුව ඉහත මුදලට එම දඩයද එකතු විය යුතුව ඇත.

වසර පහක් තිස්සේ මෙලෙස දායක මුදල් බැර නොකිරීම හේතුවෙන් තමන් සතු මුදලට පොලිය ගණනය නොවීම නිසා අදාළ සේවකයාට විශාල අසාධාරණයක් සිදුව ඇති අතර නියමිත වයස සම්පූර්ණ වී සේවය අතහැර යන අයට අර්ථසාධක අරමුදලේ තමන් සතු ප්‍රතිලාභ මුදලද මෙතෙක් ලබාගැනීමට ​නොහැකි වී ඇත.

සුළු පරිමාණ මෙන්ම මහා පරිමාණ සමාගම්ද මෙසේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් වසර පහක් තිස්සේ බැර කර නැති අතර ඒ හේතුවෙන් හිඟ මුදල් ගෙවන ලෙසට අදාළ ආයතනවලට රතු නිවේදන පවා යවා ඇතැයි කම්කරු අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.

ගෙවීම පැහැර හැර ඇති සියලුම ආයතනවලට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට ක්‍රියා කරන බවද හෙතෙම කියයි.

(Aruna)