Friday, November 14, 2025
Follow Us
ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම ගැන මුදල් රාජ්‍ය ඇමැති කියන දේ

ශ්‍රී ලංකාවේ විදේශ ණය පිළිබඳව යම් අවදානමක් පැවතුණද ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව සිය ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහත හෙළීම අසාධාරණ බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන එස්.ඇන්.පී. විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ සහ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතන කිහිපයක ණය ශ්‍රේණිගත CCC+/C දක්වා පහළ හෙළීම පිළිබඳව ‘අරුණ’ කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

‘‘මේ වෙලාවේ මුළු ලෝකයේම ප්‍රශ්න තියෙනවා. රටවල් 39ක රේටිංග්ස් අඩුකරලා තියෙනවා. අපේ රටේ ණය වැඩිවීමට හේතු කිහිපයක් තිබුණා. පසුගිය රජය වැඩිපුර විදේශ විනිමය ණය ගත්තා. ඒ කියන්නේ පිටරට මුදල්වලින් ගත්ත ණය ප්‍රමාණය ඉතාමත්ම ඉහළයි. සාමාන්‍යයෙන් අපේ ණය ප්‍රමාණයෙන් සියයට 40ක් තමයි තිබුණේ විදේශීය මුදල්වලින් ආපු ණය. සියයට 60ක් තිබුණේ ලංකාවේ මුදල්වලින් ආපු ණය. ඒ වුණාට අපි දැකපු දේ තමයි ඒ අය පසුගිය අවුරුදු පහක කාලයේදී පමණක් මේ පිටරට ණය ඉතාමත්ම ඉහළ මට්ටමකට වැඩිකර ගත්තා. සියයට 50-50 වගේ තමයි තිබුණේ.

දැන් ඒක නැවත වරක් අඩුකර ගන්නට අවශ්‍යයි. එතැනදී යම්කිසි අවදානමක් මම දකිනවා. ඒ අවදානම කළමනාකරණය කර ගන්න අවශ්‍යයි.”

එස්.ඇන්ඩ්.පී. ආයතනය විසින් පසුගිය සතියේ ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙලෙස පහත හෙළනු ලැබූ අතර ඊට පෙර රටේ ණය ශ්‍රේණියද පහත දමා තිබිණි.

(Aruna)