Friday, November 14, 2025
Follow Us
ආසාධාරණ ලෙස එළවලු සහ පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නැයි ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධාරණ ලෙස එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු ඊට සම්බන්ධ සියලූ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා කි‍්‍රයාත්මක යාන්ත‍්‍රණයක් ඔස්සේ එළවළු හා පළතුරු වෙළඳුන් වෙත ලබාදීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන හා නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ගොවීන්ගෙන් මිලට ගන්නා නිෂ්පාදන, රජය මගින් ආර්ථික මධ්‍යස්ථාන වෙත සාධාරණ මිලකට සැපයෙනු ඇති.

ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන් ඉතා සාධාරණ මිල පරතරයක් සහිතව එම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත අලෙවි කළ යුතු වනවා. නියමු වැඩසටහන් ලෙස නාරාහේන්පිට, මීගොඩ, වැලිසර ආර්ථික මධ්‍යස්ථානවල මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමටයි පළමු අදියරේදී සැලසුම් කර ඇත්තේ. ප‍්‍රවාහනයේදි සිදුවන හානි වැළැක්වීමට ප‍්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් ඇසුරුම්වල එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)