අයවැය තුන්වැනිවර කියැවීමේ ඡන්දය විමසන දිනය වන විට කොරෝනා වසංගතය වෙනුවෙන් රජය රුපියල් බිලියන 82 ක් වියදම් කර ඇත.
දෙසැම්බර් මාසය අවසන් වෙද්දී එය රුපියල් බිලියන 90 ඉක්මවිය හැකි බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
අයවැය විවාදය අවසන් කරමින් අගමැතිවරයා මෙසේද කීය.
මේ අයවැය ඉදිරිපත් කරද්දී රුපියල් බිලියන 70 ක් කොරෝනා වසංගතයට වියදම් කර තිබුණා. අයවැය තුන්වැනිවර කියවන අද දවස වනවිට අපි රුපියල් බිලියන 82 ක් කොරෝනා වසංගතයට වියදම්කර තිබෙනවා. දෙසැම්බර් වෙද්දී එය බිලියන 90 ඉක්මවිය හැකියි. මේ වගේ දැවැන්ත අභියෝග තමයි අපට මුහුණ දෙන්න සිදුව තියෙන්නේ. අපි ලෝකය සමග කොතරම් ගැටගැසී සිටිනවාද කියන එක තේරුම්ගත හැකි හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ලෝකයේ සිදුවන දේ දේශපාලන,ආර්ථික,සමාජයීය හා සෞඛ්‍යමය වශයෙන් අපට කොතරම් බලපානවාද යන්න තේරුම් ගතහැකි අවස්ථාවක් තමයි මේ උදාවී තියෙන්නේ.
මේ ලෝකයේ සිදුවන දේවල් මේ සභාවට පවා ඉතා තදින් බලපාන බව කිව යුතුයි. මෙවැනි ලෝක අර්බුදවලදී පිටස්තර ලෝකයෙන් යැපෙන රටවල් ඉතා අසරණ වන බව අමුතුවෙන් කිවයුතු නැහැ. අපි අපේ රටේ ආර්ථිකය දේශීය වශයෙන් ගොඩනගා තිබුණා නම් මෙවැනි අර්බුදයකට මුහුණ දෙන්න හොඳටම පුළුවන්කම තිබුණා. ඒක තමයි කොවිඩු 19 අපට උගන්වපු පාඩම. අපි වේලාසනින්ම මේ තත්ත්වය තේරුම් අරගෙන තිබුණා. ඒ නිසා තමයි සෞභාග්‍යයේ දැක්මේ දේශීය ආර්ථිකයක්, දේශීය කෘෂිකාර්මික දියුණුවක් ගැනයි අපි හිතුවේ.
(Aruna)