Friday, November 14, 2025
Follow Us
කෝප් කමිටු රැස්වීම් සඳහා පළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනියි

පළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් ) අද ( 26 ) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අනුව අද ( 26 ) කැලණි ග‌‌‌ගේ ජල දූෂණය සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් ( Zoom ) නිලධාරීන් සම්බන්ධ කොට ගෙන රැස්වීම පැවැත්වීමට සැලසුම් කොට ඇති බව බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා සහ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ප්‍රථම වතාවට ඔන්ලයින් තාක්ෂණය හරහා මෙසේ සම්බන්ධ කරගැනීමට නියමිතව තිබේ.

මීට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් හෙට කෝප් කමිටු රැස්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත. කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොප් කමිටු කටයුතු සිදුකරන බැවින් කොප්
කමිටුවට පැමිණෙන පිරිස අවම කරගැනීමට සහ කමිටුවේ කටයුතු කාර්යක්ෂම කරගැනීමට මෙලෙස ඔන්ලයින් තාක්ෂණය යොදාගැනීම අරමුණ වී තිබේ.

(news.lk)