Thursday, November 13, 2025
Follow Us
හුදෙකලා කළත් දුම්රිය සහ බස් රථවලට කොළඹ කොටුවට ඒමට අවසර

බස්නාහිර පළාතෙන් පිටතට සංචරණ සීමා වළක්වාලමින් පැනවු තහනම අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කෙරෙනවා. ඒ අනුව හෙට දිනයේ දුම්රිය ගමන්වාර 80ක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. හුදෙකලා කළ ප‍්‍රදේශ අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් දුම්රිය නතර කරන බව නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී රංජිත් පද්මලාල් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ ධාවන වන දුම්රිය මරදාන, දෙමටගොඩ, කැලණිය, වනවාසල, එෙඬ්රමුල්ල, හොරපේ, රාගම, වල්පොල සහ බටුවත්ත යන දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කෙරෙනු ඇති. එමෙන්ම හලාවත මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රියන් පේරලන්ද, ජා ඇල, තුඩැල්ල, කුඩහකපොල, කූරන, මීගමුව සහ කට්ටුව යන දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය මහලේකම් කාර්යාලය, කොම්පඤ්ඤවීදිය සහ අගුලාන යන දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කෙරෙනවා.

මේ අතර හෙට දිනයේ සිට හුදෙකලා කෙරෙන කොළඹ කොටුව ප‍්‍රදේශයේ පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කළ යුතු ආකාරය පිළිබද අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. මේ, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවසර ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී සදහන් කළේ. එමෙන්ම හෙට සිට හුදෙකලා කෙරෙන මරදාන, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, පිටකොටුව, කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම් ආශි‍්‍රත ආයතන පවත්වාගෙන යාමට ද අවසර හිමි වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පිටකොටුව තොග වෙළද සැල් හෙට දිනයේ සිට විවෘත කිරීමට අවසර හිමි වන්නේ දැයි මාධ්‍යවේදියෙකු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා.

 මේ වනවිටත් හුදෙකලා කර ඇති කොළඹ දිස්ති‍්‍රක්කයේ පොලිස් වසම් 12 ට අමතරව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, කෙසෙල්වත්ත සහ වේල්ල වීදිය පොලිස් වසම් හෙට අලූයම පහේ සිට හුදෙකලා කෙරෙනවා. ඊට අමතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ මේ වනවිටත් හුදෙකලා කර ඇති පොලිස් වසම් හයට අමතර කැළණිය පොලිස් වසමද හෙට අලූයම පහේ සිට හුදෙකලා කරන බවයි පොලීසිය පැවසුවේ.

(Neth)