Friday, September 19, 2025
Follow Us
2019 උසස් පෙළ ඉසෙඩ් ස්කෝර් අගය නැවත අධීක්ෂණය කිරීමට කටයුතු කරනවා-අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

2019 උසස් පෙළ විභාගය පාදක කරගෙන නිකුත් කරන ලද අදාළ ඉසෙඩ් ස්කෝර් අගය සම්බන්ධයෙන් නැවත අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පැවසුවේය.

මෑතකදී නිකුත් කරන ලද ඉසෙඩ් ස්කොර් අගය ප්‍රකාශයට පත්වීමෙන් පසුව පැරණි සහ නව නිර්දේශයන් යටතේ විභාගයට පෙනී සිටි සිසුන් තමන්ට අසාධාරණයක් වූ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අභියාචනය කළ නිසා මෙම කමිටුව පත් කර එය නැවත අධීක්ෂණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේය.

එහිදී අදහස් දක්වමින් “නව නිර්දේශය යටතේ විභාගය පැවැත්වීමේදී පැරණි නිර්දේශයට අදාළව සියයට 10ක් හෝ සියයට 20ක් සංශෝධනය කර නව නිර්දේශය යන්න ප‍්‍රකාශ කළ ද, ඒ ගැන නිවැරදි ප‍්‍රකාශයක් ප‍්‍රශ්න පත‍්‍ර සකස් කරන අයගෙන් පවා නිවැරදිව ප‍්‍රකාශ වී තිබෙන බවක් දක්නට ලැබෙන්නේ නැහැ” යනුවෙන් ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව නව නිර්දේශය යටතේ ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී පැරැණි විෂය නිර්දේශයෙන් කොපමණ විෂය ප‍්‍රමාණයක් සැලකිල්ලට ගෙන ඇතිද යන්න මෙහිදී අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

(Lanka Leads)