Tuesday, January 13, 2026
Follow Us
බහුතර කැමැත්තෙන් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා බහුතර කැමැත්තෙන් පත්කළ යුතු බවට වන යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වයට යෝජනා කරන ලද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා වෙනුවට ආණ්ඩු පක්ෂයේ වෙනත් මන්ත‍්‍රීවරයෙකු යෝජනා කිරීමට සභානායක දිනේෂ් ගුණවර්ධන උත්සාහ කිරීමත් සමග සභා ගර්භයේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

විපක්ෂයට ලැබිය යුතු එකම සභාපතිත්වය වන මෙම කාරක සභාවේ සභාපතිත්වය තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඉල්ලා සිටීමත් සමග මෙම උණුුසුම් තත්ත්වය පැන නැගුණා.

ඒ අනුව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා බහුතර කැමැත්තෙන් පත්කළ යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවති අතර ඊට පක්ෂව ඡන්ද 87 ක් හිමි වුණා. විපක්ෂව ලැබුණේ ඡන්ද 17 ක් පමණයි.

(Neth)