Wednesday, September 17, 2025
Follow Us
කොරෝනා මර්දනයට දැඩි නීති ගැසට්ටුව අද හෙටම

කොවිඩ් 19 මර්දනය සඳහා අවශ්‍ය නීතිරීති වෙනම විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙලෙස කොවිඩ් මර්දන නීතිරීති ගැසට් කිරීමට යන්නේ මෙම බරපතළ රෝගය මර්දනය සඳහා ජනතාවගෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම නිසා බව රජය ප්‍රකාශ කරයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හටගෙන තිබෙන බරපතළ තත්ත්වය යටතේද ඇතැම් සේවකයන් නිරෝධායනයට අකැමැත්ත පළකර තිබේ. එසේම ඔවුන් තමන්ගේ ආශ්‍රිතයන් හා තමන් ආගිය තැන් ගැන නිවැරදි තොරතුරු හෙළිකර නැතැයි ද සඳහන්ය. ඒ අතර රාගම රෝහලෙන් කොරෝනා රෝගියකු පැන යාම නිසාද බරපතළ අවදානමක් උද්ගත විය.

මෙම තත්ත්වය පාලනයට විධිමත් දැඩි නීතිරීති පද්ධතියක් අවශ්‍ය බැවින් ගැසට්ටුවක් මගින් අදාළ රෙගුලාසි ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැළඳීම ආදී විධි විධාන රැසක් මෙම ගැසට්ටුව මගින් නීතිගත කෙරෙයි.

පොලිස්පතිවරයා විසින් සකසන ලද ගැසට්ටුව සෞඛ්‍ය අමාත්‍යවරිය හා නීති අංශවල අනුමැතිය මත සති අන්තයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.


(Lanka Leads)