Wednesday, September 17, 2025
Follow Us
2015 සිට 2019 දක්වා විදේශ සංචාරවලට සහභාගි වූ FCID නිලධාරීන්ට රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක මුදලක් වැය වෙලා

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇති අතර, එම සංචාර සඳහා සභභාගී වූ නිලධාරීන් 20 දෙනෙකුට, එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක පමණ මුදලක් වැය වී ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.


ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍ර‍ශ්න ඇසීමේ අවස්ථාව යටතේ 2020.10.07 දින පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අගමැතිතුමා මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා වැඩිදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා,

ගරු කථානායකතුමනි,
“වංචා හා දූෂණ විමර්ශනය සඳහා ඒකකයක් ස්ථාපිත කිරීම” යනුවෙන් එවකට සිටි අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා හා “පසුගිය කාලයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම” යනුවෙන් එවකට සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයන්ට අදාළව 2015 ජනවාරි මස 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයන්ට අනුව “දූෂණ විරෝධී කමිටුව” ස්ථාපිත කොට ඇත.
එහි සාමාජිකයන් වූයේ,
01. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (සභාපති)
02. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා
03. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
04. හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා
05. හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා

06. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නායක,සරත් ෆොන්සේකා මහතා
07. දෙමළ ජාතික සන්ධානය (TNA) නායක, ආර්. සම්බන්ධන් මහතා
08. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා
09. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා
10. නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා
11. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා
12. මලික් සමරවික්‍රම මහතා
13. කමිටු ලේකම්වරයෙක්

ඉහත 2015 ජනවාරි 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ස්ථාපිත කරන ලද එම දූෂණ විරෝධී කමිටුවෙහි සාමාජිකයින් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් වැටුපක් හෝ දීමනාවක් අදාළ කාලය තුළ ගෙවා නොමැත.
එමෙන්ම, 2015 ජනවාරි 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි කටයුතු කිරීම සඳහා එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2015 පෙබරවාරි 06 දිනැති “දූෂණ වැළැක්වීමේ කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම” යන මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2015 පෙබරවාරි 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමටත්, අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමටත් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නිලධාරීන් 44 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇති කර ඔවුන් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් වැටුප් හා දීමනා ද ගෙවා ඇත.
උදාහරණ වශයෙන් එහි අධ්‍යක්ෂක, ආනන්ද විජේපාල මහතාට රුපියල් දොළොස් ලක්ෂ අසු පන්දහස් එකසිය හැට හතයි සත තිස්තුනක් (රු.1,285,167.33) - වසර තුන සඳහා ද,
උපදේශක, ඒ.පී.ඒ. ගුණසේකර මහතාට රුපියල් අනූ තුන් දහස් හත්සිය පනහක් (රු. 93,750.00) - මාස දෙකක් සඳහා ද,
උපදේශක, ටී. කේ. වර්ණසූරිය මහතාට රුපියල් හය ලක්ෂ හැට දහසක් (රු. 660,000.00) - 2015 වර්ෂය සඳහා ද,
උපදේශක, එම්.ඒ. සතාර් මහතාට රුපියල් දෙලක්ෂ හතළිස් තුන් දහස් හත්සිය පනහක් (රු.243,750.00) - මාස හතරක් සඳහා ද,
උපදේශක, එස්. මැදවැව මහතාට රුපියල් විසි ලක්ෂ හැට අටදහස් එකසිය විසි පහක් (රු. 2,068,125.00) - වසර තුන සඳහා ද,
උපදේශක, එම්. බී. එච්. එම්. දයාරත්න මහතාට රුපියල් දහනම ලක්ෂ හැත්තෑ දහසක් (රු.1,970,000.00) - වසර තුන සඳහා ද හා
උපදේශක, තුසිත් මුදලිගේ මහතාට රුපියල් හයලක්ෂ විසි හයදහස් අසූවක් (රු.6,26,080.00) - වසර තුන සඳහා ද වශයෙන් ගෙවා ඇත.
එමෙන්ම, 2015 පෙබරවාරි මස සිට 2017 ජුනි මස දක්වා කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අනෙකුත් වියදම් සඳහා රුපියල් මිලියන තිස් තුනයි දශම හතයි එකක පමණ මුදලක් (රු.33,714,807.59) අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ගෙවා ඇත.
“දූෂණ විරෝධී කමිටුව” හා “දූෂණ වැළැක්වීමේ කමිටුව ස්ථාපිත කිරීම” ට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ හා තීරණයන් හි පිටපත් පිටු අංක 01 සිට 24 දක්වා ද, දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ 2015 පෙබරවාරි මස සිට 2017 ජූනි මාසය දක්වා දරන ලද වියදම් වාර්තාව, එක් එක් නිලධාරීන්ට ගෙවා ඇති වැටුප් හා දීමනා පිළිබඳ සාරාංශය හා එක් එක් මාණ්ඩලික නිලධාරීන් වෙත අදාළ කාල සීමාව තුළ ගෙවනු ලැබූ වැටුප්, වේතන හා දීමනා පිළිබඳ විස්තර ඇතුළත් ලේඛන පිටු අංක 25 සිට 58 දක්වා ද, මේ සමඟ ඉදිරිපත් කරමි.
මා විසින් ඉදිරිපත් කරන ලද මෙම ලේඛන හා ලියකියවිලි මාගේ කතාවට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටිමි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇත. එම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 20 දෙනෙකු පමණ වරින් වර විදෙස් සංචාර 19කට සහභාගි වී ඇති අතර, ඔවුන් සඳහා එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක පමණ මුදලක් වියදම් වී ඇත.
එසේ විදේශ සංචාරවලට සහභාගි වූ නිලධාරීන්ගේ නම් හා තනතුරු වෙන් වෙන් වශයෙන් ද, ඔවුන් ඒ සඳහා යෙදවීමට අපේක්ෂිත වූ අරමුණු ද, සංචාරය කරන ලද රටවල් හා එම රටවල් වල ගත කළ දින වකවානු ද, එසේ සංචාරය කරන ලද කමිටු සාමාජික සාමාජිකාවන්ගේ ගුවන් ගමන්, නවාතැන් පහසුකම් හා වෙනත් පහසුකම් වෙනුවෙන් දරන ලද වියදම් පිළිබඳ සවිස්තරාත්මක විස්තර පිටු අංක 59 සිට 61 ලෙස අමුණා ඇත.
මා විසින් ඉදිරිපත් කරන ලද මෙම ලේඛන හා ලියකියවිලි ද මාගේ කතාවට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටිමි.
යැයි අග්‍රාමාත්‍යතුමා පිළිතුරු ලබා දුන්නේය.