Tuesday, March 25, 2025
Follow Us
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ නව ගොනැගිල්ලේ ඉදිකිරීම් මෙම වසරේ අවසන් කෙරේ
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්රයේ දැනට වසර දහයකට පමණ පෙර ඉදිකිරීම් ආරම්භ කර මෙතෙක් වැඩ අවසන් කර නොමැති නව ගොඩනැගිලි සංකීර්ණයේ සදහා අලුතින් ප්රතිපාදන වෙන් කර මේ වන විට ඉදිකිරීම් කටයුතු සීග්රයෙන් සිදුවන අතර එම ඉදිකිරිම් කටයුතු මෙම වසර අවසන් වීමට ප්රථම නිමා කර ගොඩනැගිලි සංකීර්ණය ප්රතිකාර සේවාවන් සඳහා එක්කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 450 ක මුදලක් දැනට වෙන් කර තිබූ අතර මෙවර අයවැයෙන් ද රුපියල් මිලියන 300 ක මුදලක් ද වෙන් කිරීමට කටයුතු කරනු ලැබීය.

මෙම කරුණු අනාවරණය වූයේ පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් පරීක්ෂා කර බැලීම සඳහා සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවේ දී ය.
 
මහල් අටකින් යුත් මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඇඳන් ධාරිතාවය 340 කි. මුදල් ගෙවා ප්රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කර ඇති කාමර ගණන 82 ක් වන අතර ශල්යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක, යෝග අභ්යාස ඒකක ද මෙයට ඇතුළත් ය.
 
යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල යන විශ්වවිද්යාල වලින් ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්ය කර්මයන් සදහා අධ්යන කටයුතුවල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 600 ක් වෙනුවෙන් සායනික පුහුණු වීම් සදහා පසුකම් ද මෙම නව ගොඩනැගිලි සංකීර්ණය තුළ සැලසෙනු ඇත.
 
1929 වර්ෂයේ දී ආරම්භ කරන ලද බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්යාව 11 ක් වන අතර ගෙවන කාමරවලින් ද යුක්ත වේ. වාර්ෂික ව බාහිර රෝගීන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට ප්රතිකාර සේවාවන් මෙම රෝහලෙන් ලබා දෙන අතර තුන්දහස් පන්සියයකට අධික පිරිසකට වාර්ෂික ව නේවාසික ප්රතිකාර සේවාවන් ලබාදෙනු ඇත. මෙරට එකම ආයුර්වේද ජාතික රෝහල ද මෙය වේ. නව ගොඩනැගිලි සංකීර්ණයෙන් සේවා සදහා ඒක් වීමත් සමඟ ප්රතිකාර සේවා ලබා ගැනීමට පැමිණෙන සංඛ්යාව 20% පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය.
 
ඉදිරි වසර තුළ මෙරටට සංචාරකයන් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීමට රජය සැලසුම් සකස් කරන අවස්ථාවක එම සංචාරකයින් වෙරළට, හෝටලයක විවේකයක් ගත කිරීමට පමණක් සීමා නොකර මෙවැනි රෝහල් තුළ ප්රතිකාර සේවා ලබා දීම තුළින් විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට මෙම රෝහල පත් කළ හැකි බව ද අමාත්යවරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.
 
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්ය ධම්මික අබේගුණවර්ධන, රෝහල් අධ්යක්ෂ වෛද්ය පරාක්රම හේමචන්ද්ර, නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය වසන්ත පද්මකුමාර, පරිපාලන නිලධාරිනී මයෝමි පෙරේරා යන මහත්ම මහත්මීන් මෙන් ම ආයුර්වේද විශේෂඥ වෛද්යවරුන්, ආයුර්වේද වෛද්යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.