Thursday, March 13, 2025
Follow Us
විද්‍යුත් විකාශන සමුළුවක් ශ්‍රී ලංකාවේ දී

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

මෙම විද්‍යුත් විකාශන සමුළුව ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට, මාධ්‍ය විද්වතුන්ට, මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වගකීම් සහ අනාගත අපේක්ෂාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා වේදිකාවක් වනු ඇති බවත්, සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ විනෝදාස්වාදය යන අංශ දෙක සදහා හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කරනු ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහිදී ඉදිරි වසර 05 දී විකාශණ කර්මාන්තයේ අනාගතය, පවතින ගැටළු නිරාකරණය, ප්‍රකාශණ අයිතීන් පිළිබදව සාකච්ඡා කිරීමට ද නියමිතය.

තව ද යෝජිත විද්‍යුත් විකාශන සමුළුව සැසි 04 කින් සමන්විත එක්දින වැඩමුළුවක් ලෙස පැවැත්වීමටත්, සමුළුවේ සැසි මාතෘකා තේමා 04 කින් සමන්විතව පැවැත්වීමට තීරණය විය. එමෙන් ම, 2025 වසරේ ජුනි මස මෙම සමුළුව පැවැත්වීමට සුදුසු බවට ද මෙහිදී තීරණය කරනු ලැබී ය.

සැසි මාතෘකා අවසානාත්මකව ලෙස සාකච්ඡා කිරීමෙන් පසු අනු කමිටු පත් කිරීමටත්, විකාශණ සමුළුව පැවැත්වීමේ දී ඉටු කළ යුතු කාර්යයන් යටතේ ප්‍රචාරණ කටයුතු, මුල්‍ය සම්පත් දායකයන් හා උපකාරක සේවා වැනි එක් එක් කාර්යයන් සදහා අනුකමිටු පත්කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදි.

සමුළුව සදහා සහභාගිවීමට නොහැකි, විකාශන සමුළුව සදහා ඇල්මක් දක්වන පාර්ශ්වයන් සඳහා මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ඊට සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමේ වැදගත්කම, විදුලි සංදේශ නියාමන සභාවේ මූල්‍ය සහයෝගය මෙම කාර්යය සදහා ලබාගැනීමේ හැකියාව සොයා බැලීම මෙන් ම විකාශන සමුළුව පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍යවේදීන් සඳහා පමණක් වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධව ද මෙහි දී යෝජනා ඉදිරිපත් විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකත්වය යටතේ මීට අදාළ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට නියමිත ය.