පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම 05 වැනිදා (බදාදා) සවස අවසන්වීමෙන් පසු එම ඡන්ද පෙට්ටි 06 වැනිදා පෙරවරුව තෙක් ගබඩා කර තිබෙන කාමරවල දොර, ජනෙල් පවා මුද්‍රා තබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු අදාළ ඡන්ද පෙට්ටි මැතිවරණ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින් මුද්‍රා තබනු ඇත. අනතුරුව,ඡන්ද පෙට්ටි බැගින් විශාල කාඩ්බෝඩ් පෙට්ටියකට බහාලන අතර, එම පෙට්ටියද මැතිවරණ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය අත්සන් යොදා මුද්‍රා තබනු ලබයි.
ඒ ඒ දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි ගබඩා කර තිබෙන කාමරයේ දොරවල් සහ ජනෙල්වලද මැතිවරණ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අත්සන් යොදා මුද්‍රා තබන අතර, එම කාමර ආශ්‍රිතව දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ. පොලිස් නිලධාරීන් සමග මැතිවරණ නිලධාරීන්ද යෙදවීමට කටයුතු කෙරෙනු ඇත.
එමෙන්ම එක් දේශපාලන පක්ෂකයකින් නියෝජිතයන් දෙදෙනකු බැගින් යෙදවීමටද අවසරය ලබාදී තිබේ.
මෙම ස්ථානවලට සිවිල් පොලිස් නිලධාරීන්ද යොදවන බව මැතිවරණ කොමිසම කියයි.
ගිනිපෙට්ටි, දුම්වැටි, මත්පැන් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්ය. දේශපාලන පක්ෂ නියෝජිතයන් දැඩි පරීක්ෂාවකට ලක්කර ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට යොමු කෙරේ.
ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කිසිදු වංචාවකට ඉඩක් නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේය.
(Aruna)