Thursday, July 03, 2025
Follow Us
පොහොය දවසේ ගෙන් ගෙට යාමට, දේශපාලන පක්ෂ කළ ඉල්ලීමක් මැතිවරණ කොමිසම ඉවත දමයි

ඡන්ද දායකයින්ගේ ලිපින සොයා ගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හාරලක්ෂ 50,000 කට ආසන්න සංඛ්‍යාවක් යළි තැපැල් කාර්යාල වෙත ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒවා නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම්, අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් එම නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 99% ක් පමණ මේ වන විට බෙදාහැර අවසන් බවද ඔහු කියා සිටියේ ය.

මේ අතර, පසලොස්වක පොහොය යෙදෙන අගෝස්තු 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදිමට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගියදා පැවති රැස්වීමකදී අදාළ ලේකම්වරුන් ඉල්ලා සිටියේ කොරෝනා තත්වය සලකා සිය ප්‍රචාරක කටයුතු නිසි ලෙස සිදුකරගෙන යෑමට නොහැකි වූ බැවින් 03 වැනිදා ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

එහෙත්, පවතින නීතිමය බාධා සහ ආගමික කටයුුවලට බාධාවීම් සිදුවිය හැකි බැවින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ය.

ඒ අනුව ලබන 02 වැනිදා මධ්‍යම රාත්‍රී දොළහට පෙර සියළු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ ය.

(Lanka Leads)