Thursday, July 03, 2025
Follow Us
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව IMF බිල්ලකට දීමේ සූදානමක්?

2019 වසරේ පැවති යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරුන් වන මංගල සමරවීර හා රවී කරුණානායක යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඊනියා ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වත්මන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් ක්‍රියාත්මක කිරීමට උත්සහ දරමින් සිටින බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළා.

ඊයේ (27) එම ආයතනික ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ .ඩී. චන්දන මහතා පැවසුවේ පසුගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව එම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යෝජනා වී තිබෙන බවයි.

එය ක්‍රියාත්මක වුවහොත් දේශීය ආදායම දෙපාර්තමේන්තුව බරපතල ලෙස ආදායම් අහිමි වීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසුවා.

පසුගිය ආණ්ඩුව ගෙදර ගියෙත් මෙම මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව අනුව වැඩකිරීමට යාමෙන් වන හෙයින් තවදුරටත් එම ක්‍රියා පිළිවෙත අනුගමනය කරන්නේ නම් මෙම ආණ්ඩුවටත් ගෙදර යාමට සිදුවනු ඇති බවයි දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළා.

කෙසේවෙතත් වත්මන් ජනාධිපති ලේකම් ඇතුළු නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබෙන ආයතනික ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එකඟ බවද දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියා.

(LNW)