Sunday, September 14, 2025
Follow Us
කොවිඩ් පැතිරුණත් විශ්වවිද්‍යාල අවසන් වසර විභාගය එසේමයි

කොවිඩ් වයිරසය ව්‍යාප්තවීමේ ඉඩකඩක් පවතින නමුත් විශ්වවිද්‍යාලවල ආරම්භ කර ඇති අවසන් වසර විභාග කාලසටහන් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් දැනට උද්ගත වී නැතැයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ‘අරුණ’ට ඊයේ (12 වැනිදා) පැවැසීය.

විභාග ආරම්භ කළේ උපරිම වශයෙන් නිරෝධායන නීතිරීති ක්‍රියාත්මක කරමින් යැයි ද නේවාසිකාගාරයක කාමරයක් සිසුන් දෙදෙනෙක් සඳහා වෙන් කිරීම සඳහා ඇතැම් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් සභාපතිවරයා කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමග නිරන්තරයෙන් සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යන හෙයින් එහි උපදෙස් අනුව කටයුතු කරන බවත් සඳහන් කළ මහාචාර්යවරයා විභාග පවත්වාගෙන යන ක්‍රමවේදය සෞඛ්‍ය අංශවල ප්‍රසාදයට හේතු වී ඇතැයි ද පැවසීය.

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ඉකුත් සතියේ දී ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාලවලට අවසර දුන් අතර එම ක්‍රියාවලිය නතර කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇති වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

(Aruna)