Sunday, September 14, 2025
Follow Us
රට සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම් නවතී!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් යානා මගින් විදේශවල සිරවී සිටින්නන් ශ්‍රී ලංකාවට ගෙනඒමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට තීන්දුකර ඇතැයි එම කටයුත්ත සම්බන්ධීකරණය කරන ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.

ඒ අනුව ලබන 14දායින් පසු ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අත්හිටුවනු ඇත. ඉදිරියේදී ලන්ඩනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය, මැදපෙරදිග, මාලදිවයින සහ තවත් යුරෝපා රටවල් ගණනාවකින් මෙරටට සිරවී සිටින්නන් ගෙන ඒමට සැලසුම්කර තිබිණි.

දැනට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදිවීමත් කන්දකාඩු රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල අයද නිරෝධායනය කළයුතු බැවින් ගුවන් මගීන් ගෙන ඒම මෙසේ අත්හිටුවා තිබේ. මෙලෙස විදේශවලින් ගෙන්වන තැනැත්තන්ගෙන් නිරෝධායනය සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන අතර හෝටල්වල නිරෝධායනය වන අය පමණක් ඊට මුදල් ගෙවිය යුතුය.

(Lanka Leads)