Thursday, March 28, 2024
Follow Us
රටින් ගෙනා මැෂින් ස්ථාපනය ප්‍රමාද වී වරායට කෝටි ගානක් පාඩු

විදේශයන්ගෙන් ගෙන්වන ලද යන්ත්‍රෝපකරණ නියමිත පරිදි ස්ථාපනය කිරීම ප්‍රමාද කිරීම් හේතුවෙන් පසුගිය සිව් වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇමරිකානු ඩොලර් බිලියන 5.5කට (රුපියල් කෝටි අනූ නවදහසක්) අධික අලාභ ගෙවීමට සිදුවී ඇතැයි වරාය වෘත්තීය සමිති චෝදනා කරයි.

දේශපාලන තීරණ මෙන්ම නිලධාරීන්ගේ ප්‍රමාද කිරීම් ද මෙලෙස ගොඩබෑම් හා යන්ත්‍රෝපකරණ ස්ථාපනය කිරීම ප්‍රමාද කිරීම සඳහා හේතුවී ඇතැයි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් රැගෙන ආ ගැන්ට්‍රි දොඹකර ගොඩබෑම ප්‍රමාද කිරීම හේතුවෙන් දින දහතුනක් සඳහා දිනකට රුපියල් ලක්ෂ 90 බැගින් දළ වශයෙන් රුපියල් ලක්ෂ 1173ක මුදලක් සහ එම කාලයේදී දොඹකර රැගෙන ආ අදාළ නෞකාවේ මෙහෙයුම් ගාස්තු ගෙවීමට වරාය අධිකාරියට සිදුවන බර සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ‘අරුණ’ට පැවසීය.

ආන්දෝලනයකට තුඩු දුන් ගැන්ට්‍රි දොඹකර ගොඩබෑම සඳහා අවසර ලැබුණු නමුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශයකට විකිණීමේ අවදානම මෙතෙක් පහව ගොස් නැතැයි ද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)