Tuesday, July 01, 2025
Follow Us
නිරෝධායන මධ්‍යස්ථානත් ඡන්ද මධ්‍යස්ථාන කළ හැකියි

අවශ්‍යතාවක් මතු වුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථාන ඡන්ද මධ්‍යස්ථාන බවට පත් කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අමාත්‍යාංශය විසින් පසුගියදා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීම සම්බන්ධ මාර්ගෝපදේශ මාලාවේ 2.9 වගන්තිය ඔස්සේ ඊට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ලබා දී ඇත.

එම නිර්දේශයන්ට අනුව නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ඇති පුද්ගලයන්ගේ ඡන්ද අයිතීන්ද තහවුරු කිරීමේ හැකියාව මැතිවරණ කොමිසමට ලබා දී තිබේ.

මෙම මාර්ගෝපදේශයන්ට අනුව එලෙස ඡන්ද මධ්‍යස්ථාන බවට ගත් කරන නිරෝධායන මධ්‍යස්ථානවල සේවයට යොදවන සියලුම මැතිවරණ නිලධාරීන් එම මැතිවරණ ශාලාවට ඇතුළු වීමට ප්‍රථම සම්පූර්ණ ආරක්ෂිත වෛද්‍ය උපකරණ (සෞඛ්‍ය මුහුණු ආවරණ, අත්වැසුම්, සම්පූර්ණ ශරීර ආවරණ ඇඳුම් සහ බූට් (සපත්තු) පැලඳිය යුතුය. නිලධාරීන් ඒවා ඉවත් කළ යුත්තේ ඡන්ද සැසිය අවසන් වීමෙන් අනතුරුවය.

නිලධාරීන් සාමාන්‍ය මුහුණු ආවරණ (Face Mask)වලට අමතරව අතිරේක මුහුණු ආවරණයක් ද (Plastic shield) පැලඳිය යුතු අතර ඡන්ද දායකයන් සමග මීටර් දෙකක දුරක් තබා ගත යුතුය. සැසිවාරය අවසානයේ දී ඡන්ද පෙට්ටියේ සියලුම පැති සනීපාරක්ෂාව තහවුරු කර මුද්‍රා තබා එය පොලිතින් බෑගයකට දමා ප්‍රවාහනය කළ යුතුය.

දිවයිනට පැමිණෙන සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ තෝරාගත් පිරිසක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන අතර ඔවුන් දින දාහතරක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක් කෙරේ.

(Aruna)