Sunday, September 14, 2025
Follow Us
රාජ්‍ය සහ පෞද්ගලික අංශ කාර්යාල ආරම්භ කරන වෙලාව සංශෝධනයට

ජනතාවට ගුණාත්මක සේවයක් සපයන අතර පෞද්ගලික බස් ව්‍යාපාරය ද ක්‍රමවත්ව සැකසෙමින් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

බස් රථ ධාවන කාලසටහන පිළිබදව පවතින දිගුකාලීන ගැටලුව පුළුල්ව විමර්ශණය කොට ජාතික ගමනාගමන කොමිෂම, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ ධාවන කාලසටහනක් සකස් කරන ලෙත් ඊට අදාළ තොරතුරු නොපමවා සමීක්ෂණය කර ගැටලුව විසදන්නැයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබාදී ඇත.

පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

දෛනිකව වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් දිනකට පුද්ගල මරණ 07ක් පමණ සිදු වන බව පොලීසිය මෙහිදී ප්‍රකාශ කර සිටියා ඉන් බොහොමයකටපෞද්ගලික බස් රථ ද වගකිවයුතු බව පෙනී ගොස් ඇති බැවින් ඊට දැඩි අවධානය යොමු කර අනතුරු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.

විවිධ හේතුන් මත ඇතැම් පිරිස්වලට මුදල් ගෙවීමට පෞද්ගලික බස් රථ හිමියනට සිදුව ඇති බව මෙහිදීබස් රථ සංගම් පෙන්වා දුන්නා. ඒ පිළිබඳව වැඩිදුර විමසූ ජනාධිපතිතුමා එවැනි ගෙවීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. ගමනා ගමන මණ්ඩල බස් රථවලට සේම පෞද්ගලික සහ පාසල් බස් රථවලට වෙනම වර්ණයන් තිබීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.

කොවිඩ් 19 මර්දනයට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආසන සංඛ්‍යාවට පමණක් මගින් සීමාකළයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කර සිටියා. මගී සංඛ්‍යාව සීමා කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා අරඹන වේලාව සංශෝධනය කිරීමට මෙහිදී තීරණය විය.

ඇඳිරි නීතිය පැවති කාලයේ ධාවනය නොකිරීම නිසා බස් රථවල හටගෙන ඇති දෝෂ අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 03ක ණයක් සැපයීම ගැන ද සාකච්ඡා කරනු ලැබීය.

දුර ගමන් බස් රථ විවේකය සඳහා නතර කරන ආපනශාලාවල පවිත්‍රතාවය පිළිබඳව ද තදින්ම සැලකිලිමත් වන ලෙසත් මගී සුව පහසුවට ප්‍රමුඛත්වය දෙමින් ඉහළ ප්‍රමිතියෙන් යුත් බස් ධාවනයට එක් කිරීම සම්බන්ධයෙන් මෙහිදී තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කලේ.

(Neth)